සිනිඳු සුදු මුතු තලාවේ - සත් සමුදුර (1967)
- මාධව විජේසේකර
- May 2, 2017
- 4 min read



සිනිඳු සුදු මුතු තලාවේ පිපෙන පෙණ පිඬු සිනාසේ
සැලෙන රළ මත ගිළී ඉපිළී
ගලන සිතුවිලි මුළා වී යේ
ගැඹුරු සත් සමුදුර පතුළ බිඳ ඇඹරි ඇඹරී වියරු දළ රළ තුමුළ මහ මෙර දෙදරවයි බුර බුරා නැගි කුරිරු ජල කඳ දෙරණ සම්පත ගිළගනියි.
මේ ගීතය මට කොහොමත් ම අමතක කරන්නම බැරි නිර්මාණයක්. මොකද මම පාසල් යන කාලයේ පාසල් වාද්‍ය වෘන්දයේ ඉන්නකොට මේ ගීතය අපි වසරක් පුරා පුහුණුවීම් කලා අපේ පාසලේ ප්‍රසංගයකට. අපේ එවකට හිටපු සංගීත ගුරුතුමා අසංක පෙරේරා මහතා අපිට දැඩි පුහුණුවීමක් දුන්නා මට මතකයි. ඔහු ප්‍රේමසිරි කේමදාසයන්ගේත් ගෝලයෙක්. එසේම ගායක කණ්ඩායමටත් chorus කියන්න දැඩි පුහුණුවීමක් කලා. සමහර දවස්වලට අපි පන්තියේ පැත්ත පලාතෙවත් නැහැ. මුළු දවසේම සංගීත කාමරයේ ඉඳගෙන මේක ප්‍රැක්ටිස් කලා. ඒ නිසාම අදටත් මෙහි ස්වර ප්‍රස්තාරය මට කටපාඩම්. අපේ ගුරුතුමාත් මේක පොඩි කාලයේ එක පාරක් පමණයිලු ගුවන් විදුලියේ අසා තිබුණේ. ඒ මතකයෙන් තමා මේ ගීතයේ සමස්ත සංගීත ඛණ්ඩ එතුමා ස්වර ප්‍රස්තාරවලට ලිව්වේ.
උත්තර භාරතීය රාගධාරී සංගීතයේ එන භීම්පලාසි රාගය ඇසුරෙන් තමා මේ ගීතය නිර්මාණය වුණේ. ස්ථායි Chorus කොටස කෙහෙර්වා තාලයෙනුත් 2/4 Beat අන්තරා verse කොටස දීප්චන්දි තාලයෙනුත් 7/8 Beat ලෙස තාල රූප දෙකකින් සමන්විත වෙනවා. ඇල්විටිගලයන් විසින් මහා සමුද්‍රය නිසලව ශාන්තව තිබෙන විට ස්වභාවයත්, චණ්ඩ රළු ලෙස හැසිරෙන විට ස්වභාවයත් මේ තාල රූප දෙකින් මතු කර තිබෙනවා. මේ ගීතය නිර්මාණය කරන කොට චිත්‍රපටිය රූගත කරලා තිබුණේ නෑ. ගීතය මුලින්ම හදලා තිබුණා කියලා තමා මට දැනගන්න ලැබුණේ.
ගීතය රෙකෝඩින් කරපු විදිය ඔක්කොටම වඩා අපූරුයි. ඇත්තටම මේ ගීතය වාදනය කරලා තියෙන නිසාම ප්‍රවීණ ශිල්පීන්ටත් මේක කොහොමට අපහසු වෙන්න ඇත්ද කියන එක අපට පාසල් ශිෂ්‍යයින් හැටියට දැනුණා. මේ ගීතය පටිගත කරලා තියෙන්නේ කැළණිය සරසවි චිත්‍රාගාරයේ. අද කාලය වගේ තාක්ෂණික පහසුකම් නැති එකල වාද්‍ය වෘන්දය වාදනය කරනවිටම ගායනයත් රෙකෝඩින් කරන්න ඕන. ඔකෙස්ට්‍රා එකෙන් පොඩි හරි වැරදීමක් වුණොත්, ආයෙත් මුල සිටම ගන්න ඕන. දැන් කාලයේ වගේ ට්‍රැක් එක වෙනමත්, ගායනය වෙනමත් ගන්න ඒ කාලයේ බෑ. ඉතාමත් අපහසු වැඩක්.
අමරදේව මහතා වයලීනයෙන් වාදනයට සහභාගීවන ගමන් තමයිලු මෙහි ගායනයත් කරලා තියෙන්නේ. ආරංචියේ හැටියට රාත්‍රී 9 ට ලු පටිගත කිරීම පටන් අරන් තිබෙන්නේ. පහුවදා උදේ 6 වෙනකොටත් හරියට ඉවර කරගන්න බැරිවුණාලු. අවසානයේ ටේප් එකත් දිග මදිවෙලා එය කපලා අළුත් ටේප් එකක් ජොයින්ට් කරලා ගීතය පටිගත කරන්න හැදුවත් ඒත් ඉවරකරගන්න බැරිවුණාලු. අවසානයේ දී හොඳම රෙකෝඩින් එකතු කරලා සින්දුව හදලා තියෙන්නේ. ඉතින් තාක්ෂණය දියුණු නැති එවන් යුගයක මෙවැනි පරිශ්‍රමයක් දරපු අමරදේවයන්ටත්, ඇල්විටිගලයන්ටත්, ඒ වාද්‍ය වෘන්දයේ හිටපු සියලුම ශිල්පීන්ටත්, ශබ්දාගාර ශිල්පීන්ටත් සමස්ත ජාතියම දණ්ඩ නමස්කාර කල යුතුයි.
චිත්‍රපටිය සංස්කරණ ශිල්පියා හැටියට කටයුතු කලේ ඩී.බී. නිහාල්සිංහයන්. එතුමා සිනමාවට අත්පොත් තැබුවෙත් මේ චිත්‍රපටියෙනුයි. ඊට අමතරව සංස්කරණ සහායක ලෙස මේ චිත්‍රපටියේ නිෂ්පාදක වූ දොස්තර ලීනස් දිසානයකගේ පුතුන් වූ ලාල් දිසානයකත්, සුරේෂ් දිසානයකත් සම්බන්ධවෙලා තියෙනවා. සංස්කරණය අවසන්වෙන විට මුළු චිත්‍රපටියම පැය තුනහමාරක් දිගයි. ලීනස් දිසානායක බලලා කියලා තියෙනවා කව්ද යකෝ මෙච්චර වෙලාවක් ෆිල්ම් එක බලන්නේ කියලා. පිටපත දිග වැඩියි. පස්සේ නිහාල්සිංහත් ලාල් දිසානයකත් එකතු වෙලා රූප රාමු අයින් කරලා ධාවන කාලය පැය දෙකයි කාලකට සෙට් කරලා තියෙනවා. ලාල් දිසානයකයන් පසුකලෙක කියා තිබෙනවා මේ චිත්‍රපටියට දල සේයා පට අඩි 80000ක් භාවිතා වුණා කියලා. හේතුව ඔවුන් සියලූ දෙනාම ඉගෙනගනිමින් වැඩකිරීම නිසා වැරදීම් අනන්තවත් වීම. නමුත් ඒ තුළින් දක්ෂ සංස්කරණ ශිල්පීන් දෙදෙනෙක් පසුකාලයක සිනමාවට එකතු වෙනවා.
ඊළගට මේ ගීතයට දර්ශන ෂූට් කරලා නෑ. සිංදුවක් තියෙනවා කියලා දන්නවා. විෂුවල්ස් නෑ. ඒ නිසා චිත්‍රපටියේ නාමාවලියට ගීතය අරගෙන තිබෙනවා. නාමාවලියට සිංදුව දාලා චිත්‍රපටියේ අනෙක් දර්ශනවල පසුබිමට තේමා ගීතෙන්ම කොටස් අරගෙන යොදාගෙන තිබෙනවා. වෙනමම පසුබිම් සංගීතය රෙකෝඩ් කරලා නෑ. ඒවා නියම සිස්ටම් එකට නොවුණත් නොදැනුවත්කම නිසා එ්වගේ දේවල් සිදුවුණා කියලා ලාල් දිසානයකයන් පසුකාලීනව කියනවා. මෙම චිත්‍රපටියේ DVD තැටියක් මා ගාව තිබෙනවා. හැබැයි මට නම් එහෙම අඩුපාඩුවක් දකින්නට නැහැ.
සත්සමුදුර 1968 පැවති 5 වැනි සරසවිය සම්මාන උළෙලේදී,
හොඳම චිත්‍රපටය
හොඳම අධ්‍යක්ෂණය - ආචාර්ය සිරී ගුණසිංහ
හොඳම සංගීතය - සෝමදාස ඇල්විටිගල
හොඳම නළුවා - එඩ්මන්ඩ් විජේසිංහ
හොඳම නිළිය - දෙනවක හාමිනේ
හොඳම සංස්කාරක - ඩී. බී. නිහාල්සිංහ
හොඳම ගීත රචක - මහගමසේකර - සිනිඳු සුදු මුදු
හොඳම ගායනය - ඩබ්. ඩී. අමරදේව (සිනිඳු සුදු මුදු) යන සම්මාන 8ම දිනා ගත් අතර
වසරේ හොඳම චිත්‍රපට හත අතරට ද තේරුණා.
තිරගත වූ දිනය – 1967 පෙබරවාරි 22
ඉදිරිපත් කිරීම – දිසානායක චිත්‍රපට සමාගම
නිෂ්පාදනය – ලීනස් දිසානායක
නිෂ්පාදන කළමනාකරු - වොල්ටර් සේනානායක
අධ්‍යක්ෂණය - සිරි ගුණසිංහ
තිර නාටකය - සිරි ගුණසිංහ / වසන්ත ඔබේසේකර
කැමරා අධ්‍යක්ෂණය, සංස්කරණය, කාර්මික උපදේශක – ඩී. බී. නිහාල්සිංහ
කැමරා සහාය - හෙක්ටර් හපුගොඩ / කේ. ඩී. දයානන්ද / එම්. ඩී. සෝමපාල
සංස්කරණ සහාය – ලාල් දිසානායක / සුරේෂ් දිසානායක
සහාය අධ්‍යක්ෂණය – වසන්ත ඔබේසේකර
වේශ නිරූපණය - ඩෙරික් ප්‍රනාන්දු
නිෂ්චල ඡායාරූප – රංජිත් වීරසේන
ශබ්ද පටිගත කිරීම - මර්වින් රුද්‍රගු / ජෝර්ජ් මනතුංග
සංගිතය - සෝමපාල ඇල්විටිගල
ගීත හා ගායන ශිල්පීන්:
සිනිඳු සුදු මුදු තලාවේ – ඩබ්ලිව්. ඩී. අමරදේව සහ පිරිස පද රචනය – මහගමසේකර
පිපුණු කුසුම පර වූවා - ඩබ්ලිව්. ඩී. අමරදේව පද රචනය - සිරි ගුණසිංහ
කොට ගවුමටා / කවාලා විලඳ ජාති / පද්මාවතී ආදී පැරැණි ගීත කොටස් ද මෙයට ඇතුළත්ව ඇත.
රඟපෑ නළු නිළියන්:
සිරිල් වික්‍රමගේ
ස්වර්ණා මල්ලවආරච්චි
එඩ්මන්ඩ් විජේසිංහ
සෝමසිරි දෙහිපිටිය
දෙනවක හාමිනේ
සිරිමතී රසාදරී
රත්නාවලී කැකුණුවෙල
විල්ෆ‍්‍රඩ් ද සිල්වා
ලීනා ප්‍රනාන්දු
ක්‍රිස්ටි පීරිස්
බර්ටි කිරිදෙන
හේමමාලි ගුණසිංහ
ප.ලි.
මම මුලදිම කිව්වානේ මේ ගීතය අපි පාසලේ ප්‍රසංගයකට පුරුදු වුණා කියලා. ඉතින් 2004 වසරේ කොළඹ මහානාම විද්‍යාලයේ පැවති ගීතාංජලී නම් ප්‍රසංගයට තමා අපි මේ ගීතය පුරුදු වුණේ. ඉතින් උත්සවය අවසන් වුණාම හැමෝම පුදුම වුණා අපි ළමයින් හැටියට එවැන්නක් කලේ කොහොමද කියන එක. මේ අයිතමය ඉවර වුණාම audience එකෙන් පුදුම උණුසුම් ප්‍රතිචාරයක් අපිට ලැබුණා. අපේ එවකට හිටපු විදුහල්පතිතුමාගේ කතාව තිබුණේ මේ අයිතමයට පස්සේ. එතුමා තමාගේ කතාව දීර්ඝ වශයෙන් කලේ නැහැ. මට මතකයි එතුමා තමාගේ කතාව අවසන් කලේ සත්සමුදුර වැනි ගීත මෙතැන ඇහෙන කොට මම කතාකරන්න හොඳ නැහැ කියලා. ඒ කාලයේ නම් මට වයස 15ක්. මට ඒකේ වටිනාකමක් තේරුණේ නැහැ. හැබැයි දැන් කාලය ආපස්සට හැරිලා බලනකොට මටත් පුදුම හිතෙනවා අපි එවැන්නක් කලාද කියලා. හේතුව ඔකෙස්ට්‍රා එකක් කියන්නේ සංගීත සංධ්වනියක්. ඒකට ශිල්පීන් 30ක් වත් ඕනේ. අපිට පාසලේ හිටියෙත් ඔක්කොම 15 විතර වගේ. මට මතකයි සර් කියනවා වයලින් 20ක්වත් ඕන කියලා මේ ගීතයට. අපිට හිටියේ වයලින්කාරයෝ 10යි. කී බෝර්ඩ් 3යි. තබ්ලා 2යි. කොන්ගෝ 1යි. ගිටාර් 1යි. එච්චර අඩුගාණක් ඉඳගෙන මෙහෙම දෙයක් පුරුදු කරපු එකට අපේ සංගීත ගුරුතුමාට බුදුබව ලැබෙන්න ඕන.
Commentaires