top of page
Search

සුදු නෙළුම කෝ සොරබොර වැවේ

  • මාධව විජේසේකර
  • May 2, 2017
  • 2 min read

හඬ හා තනුව : ආචාර්ය පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව

පද : රත්න ශ්‍රී විජේසිංහ

සුදු නෙළුම කෝ සොරබොර වැවේ මල් සුවඳ දුන් මහියංගණේ පුන් පෝය දා පාළොස්වකේ මල් නෙලා විකුනු පන්සලේ.. වැවට කළුවර යාවුණා සංසාර දුක බෝ වුණා නෙළු මල් මිට ඉහිරුණා එහා ඉවුරට පාවුණා.. සිහින් සිරිපොද වෑහුණා ඉවුරු දෙකොපුල සේදුනා සුදු නෙළුම් මල දෑස පියවි මෙහා ඉවුරට පාවුණා..

1981 අවුරුද්දේ ඒ කාලේ තිබුණු ආණ්ඩුව රත්න ශ්‍රී විජේසිංහයන්ව ගහක් උගුල්ලනවා වගේ ගලවල විසි කරනවා මොනරාගලට, එතුමාව වැටෙන්නේ ඔක්කම්පිටිය ජනපද විද්‍යාලය කියන ඇති දුෂ්කර පාසලට. ඒ පාසලේ දරුවන්ට වැසිකිලියක් වත් තිබුනේ නෑ ඒ පාසලට ආවා 7 පන්තියේ දැරියක්. බොහොම දක්ෂයි. දවසක් පන්තියට ගියාම මේ දැරිය හිටියේ නෑ. විජේසිංහයන් ඇහුවා ඇයි කියලා? දැනගන්න ලැබුනේ කනගාටු දායක ප්‍රවෘත්තියක් ඇය මැරිල කියලා.


එතුමා වරුවක නිවාඩුවක් දාල තව ගුරුවරයෙකුත් එක්ක යනවා ඇගේ මළගෙදර හොයාගෙන. ඒ මළගෙදර තිබුනේ ඔක්කොම්පිටිය දෙමටමල් විහාරය ආසන්නයේ පොඩි වැවක් තිබුණා. ඒ වැවට කිට්ටුව. දෙමටමල් විහාරය කියන්නේ දුටුගැමුණු සද්ධාතිස්ස යුද්ධය තිබ්බ කාලේ සද්ධාතිස්ස හැංගුණ පන්සල. ඒ ගේ කටුමැටි ගහපු ගෙයක්. ගේ කොච්චර පොඩිද කියනවානම් ඒ ගෙදර ඇගේ දේහය තියන්නවත් ඉඩක් තිබුනේ නෑ. ගෙයින් එලියට යාලත්තක් බාලා දේහය තැන්පත් කරලා තිබුණා. ඒ මඩුව හදල තිබුනෙත් පෙට්ටිය අරන් දීල තිබුනෙත් ගමේ අය සල්ලි එකතු කරලා. ඇයට අන්දලා තිබුනේ පඬු පාට වෙච්ච පාසල් ඇදපු සුදු ගවුම. මළගෙදර දහයක් දොළහක් වත් හිටියේ නෑ. කවුරුත් ඇඬුවේ නෑ. තාත්ත මැදිවියේ කෙනෙක්. එතුමාගේ වයස ඒ වෙනකොට 25 ක්.


එතුමා තාත්තට කිට්ටුවෙලා අහනවා මොකද වුනේ කියලා. තාත්ත කියනවා, මහත්තයෝ මේ ළමයා හැමදාම ඉස්කෝලේ ගිහිල්ලා වැවට යනවා මල් කඩන්න, මල් කඩලා විකුනනවා පන්සලට යන ඇයට, එයා ඒ මුදලින් එයාට අවශ්‍ය දේවල් ගන්නවා ඒ වගේම ඉතුරු වුනොත් ගෙදර වියදමටත් දෙනවා. ඒ නොවැම්බර් මාසේ වහිනවා වැඩියි. වැව පිරිලා දවස් දෙකකට පස්සේ පෝයක් එනවා පෝයට පන්සලට සෙනග එනවා වැඩියි. ඉතින් ඇය කල්පනා කළා වැඩියෙන් මල් කඩාගත්තොත් වැඩියෙන් විකුණගන්න පුළුවන් කියලා. ඇය රෑ වෙනකන් ගෙදර අවේ නෑ. මිනිස්සු කළුවර වෙනකොට හුළු අතු පත්තුකරන් හොයනවා. හොයාගන්න බැරි වුණා. පහුවෙනිදා පාන්දර ඇගේ මිනිය පාවෙලා ඇවිල්ල ගොඩගහල තියෙනවා වැවේ ඉවුරේ. ඇගේ අතේ ලිහී ගීය නෙලුම් මල් දෙකක් රැදිලා තිබුණා.


මේ සිද්ධිය ඇහුණාම මහා විශාල කම්පාවක් එතුමාගේ හිතේ ඇතිවුනා. එතුමා මාරු වෙලා ආපහු ආවම අමරදේවයන් මුණ ගැසුනාම මධුවන්ති නම් ප්‍රසංගය කරමු යැයි යෝජනා කරනවා. එයට මේ සිදුවීම ගීතයක් ලෙස ඇතුළත් කරන්න එතුමා උත්සාහ ගන්නවා. හැබැයි මෙහි ස්ථාන නාම වෙනස් කරලා තියෙන්නේ. දෙමටමල් විහාරය අසල වැව වෙනුවට, මහියංගණයේ සොරබොර වැව යොදා තිබෙනවා.


මෙහි අපූර්වතම සිදුවීම නම් අමරදේවයන්ගේ 64 වන ජන්ම දිනයට ටවර් රඟහලේ පැවැත්වූ උත්සව‍යේ දී අමරදේවයන් මේ කතාව කියලා ගීතය ගැයුවාම එදා සභාවේ සිටි හැමදෙනාගෙ ම නෙතග කඳුලක් තිබුණා. අර දැරිවියගේ සැබෑ මළගම කෙරුණේ එදා යැයි රත්න ශ්‍රී විජේසිංහයන් පවසනවා.

Comentários


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page