සිහිනයකි ඔබ නිහඩ මැදියම් රෑ
- මාධව විජේසේකර
- Jun 25, 2017
- 2 min read




සිහිනයකි ඔබ නිහඩ මැදියම් රෑ
නිදන නෙත් යුග සනසනා සිතුම් රැළි ඔබ තනිව සිටි වේලේ නිහඩ මා හද සනසනා
ඉරකි ඔබ මට සඳකි ඔබ මට කිසිදු කිසි විට සමු නොගන්නා සයුරු රළ ඔබ ඈත සමුදුර සයුරු තෙර මා හමුවනා
යුග ගනන් අප වෙන්ව ආ මග සොඳුරු නිම්නෙක එක් වෙලා දුක් සුසුම් නැති අපේ ලොව තුළ සිනා මල් පෙති විසිරිලා
හිරුට තනි නැත සඳුත් නැත තනි වී එකම අහසක හමු වෙලා ලොවම සසලව බලා සිටියාවේ යලිදු අප වෙත ලංවෙලා
ප්‍රවීණ ගේය පද රචිකාවියක් වෙන කුසුම් පීරිස් මහත්මිය හොඳින් අඳුනන යුවලක් වෙනුවෙන් තමයි මේ ගීතය ලියවුණේ. අද වෙද්දී ඒ දෙන්නා බොහොම සතුටින් විවාහ වෙලා සාර්ථක පවුල් ජීවිතයක් ගත කරනවා.
කලකට ඉහතදී මේ දෙදෙනා එකිනෙකාට ආදරය කරත්, ඒ බව මුවින් පැවසුවේ නැහැ. යාලුවෝ විදියට තමයි ආශ්‍රය කළේ. ඉතින් නියම කල වයස ආවම, මේ තරුණිය ඇයට ගෙදරින් ගෙනාව විවාහ යෝජනාවකට කැමති වුණා. ඇය විවාහ වුණාම, අර තරුණයට දැනුණේ දරාගන්න බැරි දුකක්. ගෙදර කීමට විවාහ වුණත්, ඒ තරුණියගේ පවුල් ජීවිතය සාර්ථක වෙන්නෙත් නැහැ. ඇගේ සැමියා බේබද්දෙක්. ඉතින් වැඩි කල් නොයා ඔවුන් දෙන්නා දික්කසාද වෙනවා.
මේ ගැන දැනගන්න ඇයට ආදර කරපු තරුණයා ඇය සොයා ගිහින්, තමන්ගේ හිතේ එදා වගේම අදටත් තියෙන ආදරේ ගැන ප්‍රකාශ කරනවා. බටහිර රටවල්වල කෙසේ වෙතත්, ලංකාවේ සමාජය දික්කසාද වුණු තරුණියක් දිහා බලන්නේ වපර ඇහින්. අඩු තරමේ ඇය ඒ තත්ත්වෙට වැටුණේ කාගේ වරදින්ද කියලවත් හොයලා බලන්නේ නැතුව, දෝෂාරෝපණය කිරීම තමයි ඔවුන් කරන්නේ. ඒ ගැටලුවට මේ තරුණියටත් මුහුණ දෙන්න වුණා. නමුත් ඇයට ආදරය කරපු තරුණයාට ඇය දික්කසාද වුණු එක ප්‍රශ්නයක් වුණේ නැහැ. ඔවුන් දෙදෙනා සාමාන්‍ය යුවලක් විදියටම විවාහ දිවියට එළඹුණා.
"ලොවම සසලව බලා සිටියාවේ" කියලා මේ ගීතයේ තියෙන්නෙත්, ලෝකය කුමක් කිව්වත් මට එයින් කමක් නැතැයි කියන තරුණයාගේ හැඟීම බවයි කුසුම් පීරිස් මහත්මිය පවසන්නේ. කරදර, විවේචන, බාධක සියල්ල මැද්දේ විවාහ වුණු මේ යුවළ වෙනුවෙන් ලියවුණු මේ ගීතය ගායනා කෙරුණේ බණ්ඩාර අතාවුදයන් සහ නිරංජලා සරෝජිනියන් විසින්.
Comments