ස්නේහයේ නගරයයි
- මාධව විජේසේකර
- Jun 25, 2017
- 1 min read



පද : හේමසිරි ගුණතුංග
ස්නේහයේ නගරයයි සිත මගේ
මාවතක් හෝ නොවූ රාගයේ
වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත්
කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ
යෞවනේ නිල් නුවන් සේ රැඳී
රන් මලක් වේද හද සල් වනේ
නෙත් පහන් දල්වලා සිත් සඳුන් දුම් දවා
රන් සිනා පාමි පූජාසනේ
මේ නවාතැන් ගෙවා ආත්මයේ
යනතුරා මිලින වී මතු දිනේ
සෙනෙහසේ සිහිලමින් දොවන සේ යදිමි මං
පූජනීයයි උතුම් ආදරේ
ආදරේ තියෙන පූජනීය බව, පිවිතුරු බව හරිම අපූරුවට ගළපලා තියෙන ගීතයක් තමයි මේක. ඒත් මේකට මුල් බීජය වෙලා තියෙන්නේ ඒ වගේ කතාන්දරයක් නෙවෙයි. ඉස්සර වගේ නෙවෙයි, දැන් ආදරය හොයාගන්න විදි ඕනේ තරම්. තාක්ෂණයේ දියුණුවත් එක්ක අද වෙද්දී ගෙදර තියෙන කම්පියුටරයෙන්, අතේ තියෙන ජංගම දුරකතනයෙන් ආදරේ හොයාගන්න පුළුවන් තරමට ඒක සුලබ දෙයක් වෙලා.
දවසක්දා මේ ගීතය ලියපු හේමසිරි ගුණතුංග මහත්මයා කොළඹින් ඉන්ටසිටි බස් එකකට ගොඩවෙන්නේ වැලිගම තියෙන තමන්ගේ නිවස බලා යන්නයි. මේ බස් රථයේ එක තරුණ ගැහැණු ළමයෙකුත්, පිරිමි ළමයෙකුත් එක ළඟ වාඩිවෙලා හිටියා. හැසිරීමෙන් පෙනුණු විදියට නම් මේ දෙදෙනා පෙම්වතුන් නෙවෙයි. ඒත් දෙන්නම එකිනෙකා දිහා හොරෙන් බලමින් ඇස්වලින් මුකුළු කරමින් තමයි ඉඳලා තියෙන්නේ. බස් එක ඉස්සරහට ඇදෙද්දී එයින් නොනැවතුණු මේ දෙන්නා හෙමීට හෙමීට කතා කරන්න පටන් ගත්තා. ටිකට් කඩන්න කොන්දොස්තර මහත්තයා ආවාම, දෙන්නටම ටිකට් ගන්න ඉදිරිපත් වුණේ ඒ පිරිමි ළමයාමයි.
කොහොමින් කොහොමහරි, ගමනේ අවසානය වෙද්දී මේ දෙන්නා පෙම්වතුන් බවට පත්වෙලා හිටියා. දුරකථන අංකත් හුවමාරු කරගත්ත මේ දෙපළ බස් එකෙන් බැහැලා ගියෙත් එකට අත්වැල් පටලාගෙන. එක පාරටම බස් එකක දැකපු කෙනෙක් පැය දෙක තුනකින් තමන්ගේ ප්‍රේමවන්තිය, ප්‍රේමවන්තයා බවට පත් කරගන්න තරම් ආදරය කියන දේ ලාබ ද, කියන හැඟීම හේමසිරි මහත්මයාගේ හිතට ආවේ, තරමක කලකිරීමක් එක්කයි. ඉස්සර අපි දැකපු ආදරයේ තිබුණු උතුම් බව හැමෝටම මතක් වෙන්නත් එක්ක, එතුමා මේ ගීතය රචනා කරන්න හිතුවා.
Comments