ගීයක් ලියන්නේ කෙසේදෝ
- මාධව විජේසේකර
- Jun 25, 2017
- 2 min read

ගීයක් ලියන්නේ කෙසේදෝ
කාටදෝ කා ගැනදෝ // ගීයක් ලියන්නේ කෙසේදෝ පෑනයි පොතයි මාගෙ හිස් වූ හිතයි නින්දෙන් වගේ අඩවන් වූ නෙතයි // සිතෙන්දෝ දකින්නේ නෙතින්දෝ මගේ ලියා දෙන්න කවුරුත් නැතේ ගීයක් ලියන්නේ කෙසේදෝ කාටදෝ කා ගැනදෝ ගීයක් ලියන්නේ කෙසේදෝ මුහුදයි තෙරයි ඈත ආකාසයයි තරුවයි සඳයි ඒ පරාදීසයයි // කොහෙන්දෝ පටන්ගන්නෙ අවසන් කරන්නේ කියා දෙන්න කවුරුත් නැතේ ගීයක් ලියන්නේ කෙසේදෝ කාටදෝ කා ගැනදෝ // ගීයක් ලියන්නේ කෙසේදෝ
මේ කියන්න යන්නේ ක්ලැරන්ස් විජේවර්ධන මහතා ලියපු ගීතයක් ගැන. මෙය බොහෝ දුරට ඔහු ලියූ පළමු ගීතය විය හැකියි. නමුත් ඒ පිලිබඳ වැඩි විස්තර හොයාගන්න බැරි වුණා. ක්ලැරන්ස් විජේවර්ධනයන් 60 දශකයේ අග භාගයේ සිංහල සංගීතයේ වෙනසක් කළ ගායකයෙක්. එංගලන්තයේ Beatles ආදී සංගීත කණ්ඩායම් වල ගීත ඔහුගේ සංගීත ශෛලියට පාදක වුණා. එසේම ඔහු වාග්ගේයකාරයෙක් බවට මේ ගීතය හොඳම උදාහරණයක්.
එක්තරා කාලයකදී ඔහුට අවශ්‍ය වුණා කැසට් පටයකට ගීත කිහිපයක් ලියන්න. ඔහුට ඒ සඳහා කොළඹ වැනි කලබලකාරී ප්‍රදේශයකදී සිත යොමු කිරීම අපහසු නිසා ඔහු ගියා නුවර ප්‍රදේශයේ සිටි ඔහුගේ මිතුරකුගේ නිවසකට. මිතුරාත් ඔහුගේ පැමිණීමෙන් ඉතා සතුටට පත් වෙලා ඔහුට නවාතැන් ගැනීමට කාමරයක් ලබා දුන්නා. කාමරයට වැදුණු ඔහු ළඟ ගීත ලිවීමට පොතක්, පෑනක් සහ ගිටාරයද තිබුණ. නමුත් ඔහුට ගීතයක් ලිවීමට කිසිම අදහසක් තිබුනේ නැහැ. ගොඩක් වෙලා කල්පනා කලත් කිසිම අදහසක් සිතට ආවේ නැහැ. කරන්න කිසිම දෙයක් නැතුව ඔහු මෙහෙම ලිව්වා.
"ගීයක් ලියන්නේ කෙසේදෝ කාටදෝ කා ගැනදෝ"
අත තිබුණ ගිටාරයෙන් ඒ පදයට අලංකාර තනුවක් එකතු කළා. ඔහුට තේරුණා එය අලංකාර බව. නමුත් මෙහි ඉතිරි ටික සම්පුර්ණ කරන්නෙ කොහොමද කියල ඔහුට ලොකු ප්‍රශ්නයක්. ඔහුට පෙනෙනවා ඔහුගේම මුහුණ කාමරයේ තිබුණු කණ්ණාඩියෙන්. අවට තිබුණු පැන, පොත වැනි දේවල් දර්ශනය වෙනවා. ඔහුට පෙනෙනවා ඔහුගේ මුහුණේ නිදිබර ගතියක්. මේ සියල්ල ගැන ඔහු ඊළඟ පදවැල ලියනවා.
"පෑනයි පොතයි මාගෙ හිස් වූ හිතයි
නින්දෙන් වගේ අඩවන් වූ නෙතයි"
මේ ආකාරයෙන් සිතට නොපැමිණි සිතුවිලි නිසා අවට පෙනෙන දේවල් හා ඒ වෙලාවේ හැඟුණු හැගීම් එකතු කර ඔහු මේ ගීතය සම්පුර්ණ කරනවා. අලංකාර තනුවක් එකතු කළ මේ ගීතය සිංහල ගීත ඉතිහාසයේ අමුතුම ආකාරයේ නිර්මාණයක්.
Comments