top of page
Search

කවුරුවත් නෑ... කවුරුවත් නෑ

  • මාධව විජේසේකර
  • Jun 25, 2017
  • 1 min read

හඬ : අමරසිරි පීරිස්

තනුව : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

පද : හේමසිරි ගුණතුංග

කවුරුවත් නෑ... කවුරුවත් නෑ එගොඩට යන්නට-එගොඩට යන්නට ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ අඳුර ගලනවා පාරුව ඇතුළට ලන්තෑරුම කෝ..., ඔහෙ තිබුණා වේ කවුරුත් නෑ අද එගොඩට යන්නට

දවසින් දවසට පාළම හැදුනා පාළම් මෝලේ හෙණ හඬ ඇසුණා කිරල කැලෑවේ කුරුළු කොබෙයියන් ගම හැරදා යන්න ගිහින්... දෑතේ අතැඟිලි හබලට ගෙවුනා ගෙනියන්නට බැරි බර පොදි තිබුණා මෙතුවක්‌ නොමගිය බර අද දවසේ මට හිනැහීගෙන යනවා වාගෙයි

මේ අපේ රට විවෘත ආර්ථිකය විසින් ඩැහැගත් පසුව තොටියකු වේදනාව පිටකර හරින ආකාරය. ඔහු බලාන ඉන්නවා එගොඩට යන්නට කිසිවකු එනකල්. ඉරගලත් වැටිලා. පාරුව ඇතුලට අන්ධකාරය වැටෙනතුරු ඔහු බලා සිටියා. වෙනදාට නම් මේ වෙලාවට ඔහු ලන්තෑරුම දල්වනවා. ඒ පාරුවට එළිය එන්න. ඔහු ලන්තෑරුම සෙව්වා. ඒ සමඟම "නෑ.... ඕනේ නැහැ... ඒක ඔහේ තිබුණා වේ...." එගොඩට යන්න කවුරුවත් නැති එකේ මොකටද ලන්තෑරුම පත්තුකරලා... තොටියා වේදනාවෙන් වැළපෙනවා.

මේ ගීය ලියුවේ හේමසිරි ගුණතුංගයන්, කේමදාස මාස්‌ටර්ගේ ඉල්ලීම මත. ඒ ගැන ගුණතුංගයන් මෙහෙම විස්තර කරනවා. "කේමදාස මාස්‌ටර්ට ඕනෑ වුණා විරෝධාකල්ප ගීත එකතුවක්‌ කරන්න. ඒ 88-89 කාලයේ. අමරසිරි පීරිස්‌ ගායකයා තමයි මාව කේමදාස මාස්‌ටර් ළඟට යොමු කළේ. මට ලියන්න කියුවේ එක සිංදුවයි. මම සිංදු හතරක්‌ම ලියලා දුන්නා. මේ සිංදුවේ මම පටන්ගත්තේ ඉරගල වැටිලා කියලා. ඒත් මාස්‌ටර් කිව්වා "එහෙම හරි නැහැ.... අපි "කවුරුවත් නෑ.... කවුරුවත් නෑ.... එගොඩට යන්න..." කියලා පටන් ගනිමු කියලා. මාස්‌ටර් මේ විරෝධාකල්ප ගීත එකතු කරලා "සොහොයුරාණෙනි" කියලා කැසට්‌ පටයක්‌ සිරිමාවෝ මැතිනියගේ උපන්දිනේට එළිදැක්‌වුවා. නුගේගොඩ රැස්‌වීමේදී ඒ කැසට්‌ එක ගත්තු කෙනෙක්‌ මට කිව්වා මචං උඹ සිරිමාවෝට සිංදු ලියුවා නේද කියලා. ඒ වෙනකල් මම දැනං හිටියේ නෑ මාස්‌ටර් මගෙන් සිංදුවක්‌ ඉල්ලුවේ මේකට කියලා. මේ කැසට්‌ පටය කරලා තිබුණේ සමන් වීරමන්. මැතිනියගේ උපන්දිනේට තෑගි දෙන්න. මගේ ගීත හතරම මේ කැසට්‌ පටයට අරගෙන තිබුණා."

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page