ඉස්සර මං ගිය පාසැල ඇරිලා
- මාධව විජේසේකර
- Jun 25, 2017
- 1 min read



ඉස්සර මං ගිය පාසැල ඇරිලා
පුංචි පැටව් පෙරහැරෙ එනවා
හේවිසි ගහගෙන හූ හඞ දීගෙන
ලන්ද පුරා දුව පැන එනවා
මේ දරු දැරියන් නොදුටුව දෑසින්
එක දරුවෙක් තනිවී එනවා
ගහකොළ සෙලවී ඔහු දෙස බැලුවා
බිම්මල් හිනැහී හිස වැනුවා
ඒදඞු මංකඩ තිත්ත පැටව් රැළ
ඔහුගේ සුවඳට ඉව කෙරුවා
මේ විසිතුරු හැර කොතැනක යන්නද
පුංචි දෙපා එකතැන රැඳුණා
ඉර මල පිපිලා දොඹ ගහ මුදුනේ
නෙළුම් රටාවකි තණ ගොල්ලේ
නීල කොබෙයි රැල පේලි සැදී හිඳ
මුතු ඇහිඳියි මදටිය ගාලේ
ගිනි මද්දහනේ කුසගිනි නොදැනී
තාමත් ඔහු මේ වන නිල්ලේ
පොත් පිටු අතරේ නොරැඳෙන දෑසින්
වන වදුලේ අසිරිය දකිනා
ගම් දරුවන් මැද මේ දරු පැටියා
මගේ නෙතට කඳුලක් නැඟුවා
ඔහුට මුවාවී පාසැල් යන්නේ
මා දැයි නිකමට මට හිතුණා
සම්පුර්ණ ගීතයටම පාදක වී ඇත්තේ කුමාරදාස සපුතන්ත්‍රී ගායන ශිල්පියාගේ ළමා කාලයයි. කුඩා කාලයේ ඔහු ගතකල සුන්දර ළමා විය, කෙළිදෙලෙන් පාසැල ආ ගිය හැටි, පරිසරය සමග කාලය ගත කල හැටි ගීතය පුරාවට විස්තර වේ. එතුමා පවසන ආකාරයට ගීතය රචනා කිරීමට පහත සඳහන් සිදුවීම පාදක වී ඇත.
"උසස් අධ්‍යාපනය සඳහා කොළඹ යන මම නිවාඩුවට ගමේ ගොස් නිවසේ ඉස්තෝප්පුවේ හාන්සි පුටුවක වාඩි වී ඉදිරිපස බලා සිටිමි. වේලාව දහවල් දෙකට ආසන්න ය. පාසල් නිම වී නිවෙස් බලා යන දරු දැරියන් ගේ හඬ දුර තියාම මට ඇසේ. පාරේ ඇති ටින් බෙලෙක්කවලට පා පහර ගසමින් දිය කඩිතිවලට කැට කැබැලිති විසි කරමින් කෙළි සිනා හඬ නංවමින් ඔවුන් එන අසිරිය පුංචි පෙරහැරක් මෙනි."
تعليقات