අහන් ඉන්න අහගෙන ඉන්න
- මාධව විජේසේකර
- Jun 25, 2017
- 2 min read




අහන් ඉන්න අහගෙන ඉන්න මගෙ හිත මොනවද මුමුණනවා
යාය පුරා නෙක නෙක පාටින් මෘදු මල් පෙති ඇහැරෙනවා පොද වැස්සක සීතල ඇවිදින් හිතට එබෙනවා කෝඩුකාර මල් රේණු අගින් සුවඳ බෙදනවා ඒ සුවඳින් මගේ හුස්ම රටා මවනවා අහන් ඉන්න . . .
සිලි සිලියේ හමන සුළඟ කොඳුරන්නේ අපටමයි සතුට මිසක දුක මොකටද සෙනෙහස මහ මෙරයි අමාවකේ දුක දුරලන දහසක් තරු කැට නුඹටයි මේ එළියෙන් දැල්වෙන ලෝකය මගෙමයි මටමයි
ඉතා අලංකාර හදවතට ආමන්ත්‍රණය කරනා ගායනයක් සහිත මේ ගීතයෙන් කියවෙන්නේ අන්ධ පුද්ගලයෙක් ලෝකය දකින අන්දම පිළිබඳවයි. ගීතය රචනා කර තිබෙන්නේ මහනුවර මහ රෝහලේ අක්ෂි තාක්ෂණවේදී නිලධාරිනියක් වන සෝමලතා හේරත් මැණිකේ මහත්මිය විසින්. ඒ සුනෙර පදනමෙන් කරනා ලද Human Touch නම් විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ නාට්‍ය නිර්මාණයේ තේමා ගීතය සඳහා ගීතයක් නිර්මාණය කිරීමට කළ ඉල්ලීමටයි. ගීතය ගයනා කරනු ලබන මේකලා ගමගේ ද අන්ධ තරුණියකි.
මෙම ගීතයේ රොක් ශෛලියේ ගායනයක්ද නිර්මාණය කර ඇත. එහි ගායනය ඉන්ද්‍රචාපා ලියනගේ මහතාගේ. නමුත් වඩාත් සංවේදී හා හැඟුම්බර ලෙස සිතට දැනෙන ගායනය වන්නේ මේකලා ගමගේ ගයනා කරනා Classical Version එකයි. එහි සංගීත නිර්මාණය රුවන් ශ්‍රී වල්පොළ මහතා විසින් සිදු කර ඇති අතර ඒ සඳහා අඩු සංගීත භාණ්ඩ ප්‍රමාණයක් භාවිත කර කටහඬ ඉස්මතු කිරීමට උත්සහ කර ඇත.
රූප රචනාව ගැනත් අනිවාර්යයෙන් ම කියන්න ඕන. ඒ ගැන නලින්ද ප්‍රේමරත්න මහතා මෙහෙම කියනවා.
"මට ඕන වුණේ විශේෂ අවශ්‍යතා ඇති අයවලුන් ලෝකය දකින අන්දම වීඩියෝව මඟින් පෙන්වන්න. වීඩියෝ එක පටන් ගන්නේ මේකලා වැස්සට තෙමෙන සීන් එකකින්. ඒ ඇය දෑසින් නොවුණත් ඒ දෙය විඳින අන්දම දක්වලා. විශේෂ අවශ්‍යතා ඇති කිහිප දෙනෙකුම මා මේ සඳහා යොදා ගත්තා. මෙහිදී තව දෙයක් කියන්න ඕනේ, විටෙක සාමාන්‍ය අයට වඩා ඉතා දක්ෂව මේ කට්ටිය රඟපෑවා. වීඩියෝ එක පුරාවටම තිබෙන්නේ කළු සුදු වර්ණ පමණයි. ඒ දෑස නොපෙනෙන කෙනෙකුගේ ලොව අඳුරු නිසා. මෙය අන්තර් ජාලයට ඇතුළත් කොට දින තුනක් හතරක් තුළ හත් දහසකට ආසන්න ප්‍රමාණයක් නරඹලා තියනවා."
Comments