top of page
Search

හඬන්න ළංව ඇති ඔබේ නුවන් පුරා

  • මාධව විජේසේකර
  • Jun 18, 2017
  • 1 min read

හඬ : විශාරද එඩ්වඩ් ජයකොඩි

හඬ : ධම්මිකා වල්පොල

පද : බන්දුල නානායක්කාරවසම්

තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ

හඬන්න ළංව ඇති ඔබේ නුවන් පුරා ඇඳෙන්නේ ජීවිතේ කතාවදෝ

හෙලන්න බැරිව ළතවෙනා සුසුම් සදා කියන්නේ ජීවිතේ මුළාවදෝ

තරු ඇසක් ඇරී උදා ගිරේ පෙම් මලක් මුවින් හිනා නැගේ// තරු ඇසේ කතා මියේද පෙම් මලේ හිනා මැකේද මේ වෙනසදෝ ආදරේ

හඬන්න ළංව ඇති ඔබේ නුවන් පුරා...

සඳ රැහැන් වැටී සුනිල් දියේ කුමුදු මල් දෙතොල් විදා පිපේ // හිරු ඇවිත් එ මල් දවාද ඒ දුකත් වසන්ව යාද මේ අරුතදෝ ආදරේ

හඬන්න ළංව ඇති ඔබේ නුවන් පුරා...


මේ ගීතයට පද රචනය බන්දුල නානායක්කාරවසම් අතින් සිදුවී තිබෙන්නේ ආචාර්ය රෝහණ වීරසිංහයන් අතින් පූර්ව නිර්මිත වූ තනුවකටයි. මෙහි අතිශය රසවත් කොටස නම් රෝහණ වීරසිංහ නමැත්තා තුළ ජීවත් වන "කවට අන්දරේ" ගැන අපූරු සිදුවීමක් මේ ගීතය පිටුපස තිබීමයි.


ඒ වකවානුව තුළ බන්දුල මහතා, රෝහණ වීරසිංහයන් ව එතරම් හඳුනන්නේ නැහැ. තනුව නිර්මාණය කර එතුමාට බොරු වචන ටිකක් පද මාලාවට දමා මේ අනුව ලියන්න යැයි දී තිබෙනවා. සාමාන්‍යයෙන් සංගීත පථ (Music Track) වලට පද රචනා නිර්මාණය කරනවිට එවැනි දේවල් කරනවා.

මෙහි ස්ථායි කොටස වෙත ලබා දී තිබු එම "බොරු වචන" මෙසේයි.

නටන්න ගස් වටේ දුවන්න කෑ ගසා

වැල් වලින් එතී රඟන්නකෝ!!!

කියන්න මගේ කියන්න කෑ ගසා

මා ඔබේ කියා කියන්නකෝ!!!

අන්තරා කොටසේ තිබුණේ මෙහෙමයි.

ප්‍රේමයේ සුසාන භූමියේ

මළ මිනී සිනා සිසී නැගේ!!!!!!!

අවසානයේ බන්දුල මහතා අහනවා, "ඇයි මේ වගේ වචන ටිකක් දාලා එව්වේ?" කියලා. එවිට රෝහණයන් පවසනවා "මම සඳ තරු කියලා ලියලා දුන්නොත් ඔයාලා ඒ ටිකම අල්ලගෙන ලියනවා. ඊට වඩා හොඳට ලියාගන්න ඕන නිසයි මම ඔහොම ලිව්වේ" කියලා.


ඇත්තටම රෝහණ වීරසිංහයන් කියන්නේ දක්ෂ ගී පද රචකයෙක්. එතුමාගේ "දහස් වරක්" ඔබ කියන ගීතය එතුමා විසින් ම ලියා සංගීතවත් කර ගැයූ ගීතයක්. එමනිසා ආචාර්ය රෝහණ වීරසිංහ යනු වාග්ගේයකාරයෙක්!

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page