මට වාසනාවන්
- මාධව විජේසේකර
- Jun 17, 2017
- 2 min read



මට වාසනාවන් මගේ ජීවිතේ වන් පොඩි දූ කුමාරී දූ ... සුදුමූණ ඉඹලා පණ සේ රකින්නම්
හදලා වඩා මා දූ ... ඔය පුංචි දෑසින් කිරිපුසුඹ දෝතින් සුරතල් වූ ටිකිරී මුවේ විදහා බලාලා තාත්තා කියාලා හිනැහෙන්න ඕනී දුවේ සුදුමූණ ඉඹලා පණ සේ රකින්නම් හදලා වඩා මා දූ ...
. දුක් වේදනාවෙන් ගෙවී ජීවිතේ දැන් අවසාන වූවා වගේ සිරුරේ මගේ ලේ මට පුංචි දූගේ උරුමේ ගෙනාවා වගේ සංසාරයේ දී හැම ආත්මයේ දී වේවා මගේ දෝණී ...
හදවත රත්තරන් එච්. ආර්. ජෝතිපාලයන් සහ ආචාර්ය අජන්තා රණසිංහයන් අතර තිබුණේ නොමියෙන මිත්‍ර සම්බන්ධතාවක්. ආචාර්ය අජන්තා රණසිංහයන් ජෝතිපාලයන්ට ලියා දුන් ප්‍රථම ගීතය මෙය බව ඔබ දැනසිටියා ද? ඔව් ජෝති - අජන්තා සුසංයෝගයේ මූලාරම්භය මෙතනයි. ඒ ගැන ආචාර්ය අජන්තා රණසිංහයන් 2010-03-11 වන දින සරසවිය පුවත්පතට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකින් උපුටා ගත් කොටසක් මේ.
‘ජෝතිපාලයන් පිළිබඳ ඉමිහිරි, දුක්බර මෙන්ම හැඟුම්බර මතක බොහොමයි. ඔහු වැනි මනුස්ස ගුණයෙන් පිරී ඉතිරී ගිය මිතුරකු ගැන පුන පුනා කතා බහ කිරීමට ලැබීමත් භාග්‍යයක්.
ජෝතිපාලයන්ගේ මතක පිළිබඳ අතීතය බොහොම දිගුයි. ඒ කොතරම් ද කියනවා නම් මම ඒ වන විට වයස අවුරුදු දාහතක තරුණයෙක්. ඒ කාලය වන විට මම ගුවන් විදුලි සංස්ථාවේ ළමා ගීත ලියනවා. එක්තරා දවසක උදෑසනක මම ගුවන් විදුලියට පැමිණියේ දහසක් බලාපොරොත්තු හදවතේ පොදි බැඳ ගනිමින්.
ටිකෙන් ටික මගේ වැඩ කටයුතු නිමා කරලා මම එක මොහොතකදී දුම් වැටියක් දල්වාගෙනම අංක 10 මැදිරියෙන් එළියට ආවා. එළියට ඇවිත් වට පිට බලමින් හිටියා.
එකවරම මම දුටුවා රජෙක් වාගේ ජෝතිපාලයන් කොරිඩෝව දිගේ ඉදිරියට ඇදෙනවා. කොරිඩෝවේ කණු අතරින් පෙනී නොපෙනී ජෝතිපාලයන් මගේ ළඟට පැමිණියා. ප්‍රතාපවත් රුව මා ළඟ නැවතුණා. මට ඒ මොහොතේ විශාල බියක් ඇති වුණා. ඒකට හේතුව මොකක්ද කියලා මම කියන්නේ නැහැ.
මම ඒ වෙලාවේ ‘ජෝති අයියා’ කියලා ඉතාමත් ළෙන්ගතු ස්වරයෙන් ඔහුට කතා කළා.
‘ඔයා ලස්සනට සින්දු ලියනවා කියලා මට ආරංචියි. මගේ නංගිල දෙන්න ගෙදර ගිහිං ඔයා ගැන කතා වෙනවා. සින්දු ගැනත් කියනවා.
ඒ කාලේ කූඹියෙක් වගේ හිටිය මට මේ යෝධයාගේ වචන අරුමයක් බවට පත් වුණා.
‘දන්නවද මට දුවෙක් ලැබුණා . . .’
ජෝති අයියා එදා මට ඒක කිව්වේ රටක් රාජ්‍යයක් ලැබුණා වගෙයි. ‘මට දෙවියන් වහන්සේ දියණියක් දීලා තිබෙනවා. මගේ දියණිය වෙනුවෙන් ගීතයක් ලියන්න ඕනේ. හැබැයි මේ ගීතය ලෝකේ තිබෙන ලස්සනම නැළවිලි ගීතය විය යුතුයි. මේ ගීතය ඔයා ලියන්න මචං . . .
ජෝති අයියා මට මචං කියලයි එදා කතා කළේ. ඉන් පස්සේ ඔහු මගේ පිටට තට්ටුවක් දාලා කිව්වා.
‘මොහොමඩ් සාලි ඉන්නවා මරදානේ පරණවාඩියේ. ගිහිං එයාව හම්බ වෙලා සින්දුව ලියන්න කියලා’.
මම ඔහුව හමුවෙලා ඒ තනුවට අනුව ගීතය ලිව්වා.
‘මට වාසනාවන් මගෙ ජීවිතේ වන් පොඩි දූ කුමාරී ඔය පුංචි දෑසින් කිරි පුසුඹ දෝතින් සුරතල් වූ ටිකිරි මුවේ විදහා බලාලා තාත්තා කියාලා හිනැහෙන්න ඕනී දුවේ’
මා ලියූ මේ ගීතයට ඔහු ඉතාමත් කැමැති වුණා. ජෝති අයියට දුවගේ නම දාන්න ඕන වුණත් මා මේ ගීතය පොදු විය යුතුයි කිව්වම ඔහු එය පිළිගත්තා. ජෝති අයියා ඒ තරමටම නිහතමානී චරිතයක්. කෙසේ හෝ ගීතය නිර්මාණය වුණා.
Commentaires