මේ මැයි ගහ යට
- මාධව විජේසේකර
- Jun 17, 2017
- 1 min read



මේ මැයි ගහ යට දවසක් දා..
වැස්සට අපි උන්නා.. රතු කැට වාගේ මැයි මල් පිපි පිපි අපට සෙවන දුන්නා... අපට සෙවන දුන්නා... මැයි මාසේ එක සැන්දා වරුවක සීතල වැහි පොද වැටෙන වෙලේ.. ආදර වියෝවක් සිතින් එබෙන සඳ වැහිපොද සේ නෙතු කඳුලු සැලේ වැහිපොද සේ නෙතු කඳුලු සැලේ.. වැහිපොද වැටුනත් ඉස්සර වාගේ මැයි මල් පිපුනත් රතට රතේ.. අපදෙදෙනෙක් නොව අද මා පමණයි මැයි ගස් සෙවනේ අඳුරු පෙතේ මැයි ගස් සෙවනේ අඳුරු පෙතේ.. මේ මැයි ගහ යට...
බොහෝ කාලයක් ආදරය කරලා එක්කෙනෙක් අනෙකාට රිදවලා වෙන්වෙලා ගියාම කොයිතරම් නම් වේදනාවක් දැනෙනවා ඇත්ද? මේ ගීතය ආචාර්ය අජන්තා රණසිංහයන්ගේම අත්දැකීමක්. එතුමා තම තරුණ කාලයේ එක්තරා තරුණියකට ආදරය කරලා තියෙනවා. එනමුත් පසුකාලීනව එම තරුණිය නොසිතූ විදියට එතුමාගෙන් වෙන්වෙලා ගිහින් තියෙනවා. ඒ වේදනාව දක්වමින් අජන්තා රණසිංහයන් මේ ගීතය රචනා කරලා තියෙනවා.
මෙහි එන මැයි ගහ බේස්ලයින් පාරේ මවුන්ට්මේරි තියෙන ප්‍රදේශයේ තිබුණු ගසක් කියල එතුමාගේ ගීත පිලිබඳ සිළුමිණ පුවත්පතේ සඳහන් වුනු ලිපියක පළවුණා. ඒ ප්‍රදේශයේ මැයි ගස් බොහොමයක් තිබිල තියෙනවා. සිළුමිණ පුවත්පත් ලිපියේ සඳහන් ආකාරයට කතාව මේ ආකාරයෙන්; "අපි හමුවුණේ ඒ හරියෙදි. මල් පිපෙන කාලෙට ගහ පිරෙන්න මල් පිපෙනවා. ඇය මගෙන් වෙන්වෙලා අවුරුදු දහයකට විතර පස්සේ මම මේ පාරෙන් මගේ කාර් එකේ ගමට ගියා. මට මැයි ගහ දැක්කම අතීතය මතක් වුණා. මම කාර් එකෙන් බැහැලා ඒ ගහ යටට ගියා. එදත් මැයි මල් වැටිලා තිබුණා. හීන් පොද වැස්සක් වැටුණා. මට අදටත් තේරෙන්නේ නැහැ මං ඇයි එදා ඒ ගහ යට නතර වුණේ කියලා. වැස්ස තුරල් වුණා. මට අතීතය මතක් වුණා. මම ඒ කාලේ ගී ලියන්නේ නැහැ. මේ අත්දැකීම මගේ හිත අස්සේ තිබුණා. එය තමයි පසුකලෙක ගීයක් ලෙස ලියැවුණේ."
Comments