පොකුරු පොකුරු මල් සැණකෙළි - වාසනා (1976)
- මාධව විජේසේකර
- Jun 17, 2017
- 3 min read



ගුම් ගුම් ගුම් නඟනා මල් බඹරෝ මල් පැණි වාරේ ආවාදෝ..
පොකුරු පොකුරු මල් සැණකෙළි ඔමරි ලතාවයි.. නුහුරු හැඟුම් මා වටකර රඟන ලතාවයි.. පොකුරු පොකුරු මල් සැණකෙළි ඔමරි ලතාවයි.. බිංදු බිංදු පිණි මුතු වැල් මඟ සරසනවා.. මට නොකියම හෙමි හෙමිහිට පිය එසවෙනවා.. කුරුල්ලනේ රෑන් රෑන් කොහේ යන්නදෝ.. අනේ මටත් ඉගිල්ලෙන්න කියා දෙන්නකෝ.. අනේ මටත් ඉගිල්ලෙන්න කියා දෙන්නකෝ.. පොකුරු පොකුරු... මට මතකයි මට මතකයි පුංචි කාලේ මං.. රෑ හීනෙන් දේදුන්නේ නැගී ගියා මං.. ඒ පෙනිච්ච මිහිරි සිහින දැන් සැබෑවුනා.. රිදී කාසි හැලෙන හඬින් සිත සිනාසුනා.. පොකුරු පොකුරු... මිටියාවත සුදු මිහිදුම් හිම සිහිල් සුවේ.. පාවි පාවි මං යනවා සිත සැහැල්ලුවේ.. කවුරුන් හෝ මට කියන්න කනට කොඳුරලා.. ආදරේද මේ දැනෙන්නෙ සුවඳ ගල ගලා.. ආදරේද මේ දැනෙන්නෙ සුවඳ ගල ගලා.. පොකුරු පොකුරු...
1976 වසරේ දී කේ. ඒ. ඩබ්. පෙරේරා මහතා අධ්‍යක්ෂණය කළ වාසනා චිත්‍රපටියේ අඩංගුව තිබුණු මේ ගීතය රචනා වුණ ආකාරය ආචාර්ය අජන්තා රණසිංහයන්ට කවදාවත් ම අමතක නොවු අත්දැකීමක්. ඊට හේතුව එතුමා අතින් රචනා වූ පළමු චිත්‍රපටි ගීතය මෙයයි. එතුමා පවසන පරිදි ලතා වල්පොල ශූරීන්ට ගීතයක් රචනා කරන්නට ලැබීම එතුමාගේ ජයග්‍රහණයක්.
මේ ගීතය රචනා කරන්නට එතුමාට අවස්ථාව ලැබිලා තියෙන්නේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් නිසයි. ගීතය රචනා කර ගැනීමට අවශ්‍ය බව පැවසූ එතුමා පසුදිනම වෑන් රථයකින් ඇවිත් අජන්තා රණසිංහයන්ව කැටුව යනවා. එම ස්ථානයේ චිත්‍රපටියේ අධ්‍යක්ෂක කේ. ඒ. ඩබ්. පෙරේරා මහතා ත් සිටිනවා. සංග්‍රහ සත්කාර කිරීමෙන් අනතුරුව කේමදාසයන් සර්පිනාව අතට ගෙන "හරි දැන් එහෙනම් සින්දුව ලියමු" කියා එතුමා මේ ගීතයේ මුල් කොටසේ එන දෝරාව (Adlib) කොටස වාදනය කලා. මේ වෙනකොට තනුව නිර්මාණය කරලා තිබුණේ. අජන්තා රණසිංහයන්ට හිතාගන්නටවත් බෑ. මොකද ඒ තරම් එතුමා තිගැස්මට පත් වෙලා හිටියේ. එම සංගීත ඛණ්ඩයේ ඇති වේගවත් භාවය නිසාත් කිසිම අදහසක් ඇවිත් නැහැ. "හරි දැන් ලියන්න ඒකට වචන ටිකක්" යනුවෙන් මාස්ටර් කියූ විට, "මෙහෙම එකපාරට ලියන්න බැහැ මට හිතාගන්නටවත් බැහැ" යනුවෙන් අජන්තා රණසිංහයන් පවසනවා. "එහෙම තමයි. චිත්‍රපට ගීත කරන කොට එහෙම තමයි" යනුවෙන් මාස්ටර් යලි ප්‍රතිඋත්තර බඳිනවා.
අජන්තා රණසිංහයන් පත්ව ඇති අපහසුතාව තේරුම් ගත් අධ්‍යක්ෂ කේ. ඒ. ඩබ්. පෙරේරා මහතා චිත්‍රපටියේ මේ ගීතය ඇතුළත් ජවනිකාව ගැන පොඩි හැඳින්වීමක් කරනවා. "අජන්තා, මේ දර්ශනයේ ඉන්න තරුණිය පළමු වතාවට ආදරය ලබලා ඒ ගැන උද්දාමයට පත් වෙලා ඉන්නේ. ඇය දන්නේ නැහැ මේ ආදරය ද කියලා. අන්න ඒ හැඟීම එන විදියට ගීතය ලියන්න" යනුවෙන් කිව්වාම, ටිකක් කල්පනා කරලා අර දෝරාව කොටසට "ගුම් ගුම් ගුම් නඟනා මල් බඹරෝමල් පැණි වාරේ ආවාදෝ.." කියන වචන ටික ලිව්වා. ඊට පසු ක්‍රමයෙන් ඉතිරිටිකත් ලියා දුන් පසු ප්‍රේමසිරි කේමදාසයන්, "ඔය තියෙන්නේ ලියලා." යනුවෙන් පවසා තිබෙනවා.
ගීතය පටිගත කරලා තිබෙන්නේ, සිලෝන් ස්ටූඩියෝ ශබ්දාගාරයේ. තමාගේ පළවෙනි චිත්‍රපට ගීතය පටිගත කරනවා බලන්න අජන්තා රණසිංහයන් එදින උදෑසන 8ට ගිහින් තියෙන්නේ. පටිගත කරන්න ආරම්භ කරලා තිබුණේ උදේ 9ට වුණත් 8ට ම ගිහින් තියෙන්නේ, නොඉවසිල්ල නිසාමයි.
වාසනා චිත්‍රපටිය ගැන සැකෙවින් :
තිරගත වූ දිනය – 1976 මාර්තු 26
ඉදිරිපත් කිරීම - ශ්‍රීධර චිත්‍රපට
නිෂ්පාදනය – ඩී. වී. ජේ. වික්‍රමසිංහ, එච්. කේ, ධර්මදාස, ඩබ්ලිව්. එච්. සුමතිපාල
කතාව, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - දෙබස් - කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා
කැමරා අධ්‍යක්ෂණය – එම්. ඒ. ගෆූර්
නිෂ්පාදන පරිපාලක - සී. ඩබ්ලිව්. විදානගේ
නිෂ්පාදන කළමනාකරණය - පී. ඊ. අබේනායක, ජී. ඩී. ආනන්ද
සහාය අධ්‍යක්ෂණය – කුමාරදාස වාගිස්ට, ආරියදාස විතානගේ
කැමරා සහාය – ඇස්. ඇන්ටනි, එච්. මාටින්, ආරියදාස විතානගේ
සංස්කරණය - ඇම්. පී. රූපසේන
සහාය - ජෝකින් අප්පුහාමි
වේශ නිරූපණය - බෙනට් ජයතුංග
කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා
නැටුම් අධ්‍යක්ෂණය – ඒ. ඊ. අබේසුන්දර
ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි
සහාය - ලයනල් ගුණරත්න
රසායනාගාර පාලක – අයි. ඒ. ජොහාර්
සහාය - ඇස්. ඇස්. සමරසිංහ
නිෂ්චල ඡයාරූප - ලෙස්ලි අමරසිංහ
ඇඳුම් නිර්මාණ – දිමුතු ටේලර්ස්
ස්වර්ණාභරණ – හබීබා ජුවලර්ස්
සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස
ගීත ප්‍රබන්ධය – ජෝර්ජ් ලෙස්ලි රණසිංහ, අජන්තා රණසිංහ, කරුණාරත්න අබේසේකර
පොකුරු පොකුරු - ලතා වල්පොල
පණ පලයන් ලබන සුමානේ- ෆේරඩී සිල්වා
තරු විසිරුණු ගුවන් තලාවේ – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
ඔන්චිලි චිලි - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
වාසනාවේ සුරංගනා - එච්. ආර්. ජෝතිපාල
ඔබ ළඟ ඉන්න ළඟ ඉන්න මගේ වාසනා -එච්. ආර්. ජෝතිපාල
ගීත පොත්- සුලලිත පොත් හල
ගීත තැටි - ජෙම්ටෝන්
නළු නිළියන්-
විජය කුමාරණතුංග
මාලිනී ෆොන්සේකා
ජෝ අබේවික්‍රම
නීටා ප්‍රනාන්දු
ඩොමී ජයවර්ධන
රුක්මණී දේවි
ෆේරඩී සිල්වා
ගීතා කුමාරසිංහ
හර්බට් අමරවික්‍රම
හර්බි සෙනෙවිරත්න
සුදේශ් ගුණරත්න
ලිලියන් එදිරිසිංහ
බී. ඇස්. පෙරේරා
විමලා කුමාරි
ජී. එච්. ස්ටැන්ලි පෙරේරා
ඇස්. ජයවර්ධන
ස්ටැන්ලි සිල්වා
ඇම්. ඩී. කුරේ
ඩී. ගුණපාල
පූජිත මෙන්ඩිස්
සීතා කුමාරි
අනිල් ජයසිංහ
ස්ටැන්ලි ද සිල්වා
Comments