top of page
Search

එන්න මදනලේ

  • මාධව විජේසේකර
  • Jun 4, 2017
  • 2 min read

පද : කරුණාරත්න අබේසේකර

තනුව සහ හඬ : තිලකසිරි ප්‍රනාන්දු

එන්න මද නලේ

ගොස් පවසන්න දුක මගේ යන්නට හැකි ඔබට පමණි සිර ගෙයට ඇගේ දිවා රැයේ වැලපිලා දෑස ඈගේ රතුවෙලා

කියන්නකෝ මගෙ දුක ඇගෙ කණට ළං වෙලා //

එන්න මද නලේ //

සෝක පණිවිඩය යවන්න ආදරිය බලා කාලිදාස කිවිඳු මේඝදූතයක් කලා මට කොයින්ද එම වලා ආමි සුළඟෙ ඔබ බලා

කියන්නකෝ මගෙ දුක ඇගෙ කණට ළං වෙලා //

එන්න මද නලේ //

සන්දේශයකින් යවන්න මෙදුක උන් අතේ හංස ගිරා ලිහිණි කොවුල් ‍කුරුල්ලන් නැතේ සුළඟේ මා අසරණයි මට ඇති වස්තුව ඇයයි

කීවොත් මගෙ දුක සදහට ඔබට මා ණයයි //

එන්න මද නලේ ගොස් පවසන්න දුක මගේ යන්නට හැකි ඔබට පමණි සිර ගෙයට ඇගේ දිවා රැයේ වැලපිලා දෑස ඈගේ රතුවෙලා

කියන්නකෝ මගෙ දුක ඇගෙ කණට ළං වෙලා //

එන්න මද නලේ //

අදටත් අතිශය ජනප්‍රිය ගීතයක් වූ මේ ගීතයේ පසුබිම් කතාව නම් එක් අතකට දුක් සහිත වුණත් අවසානයේ එය කෙලවර වූයේ සතුටුදායක ලෙසින්. මේ සුළඟට එන්න කියලා පෙම්වතියට පණිවිඩයක් යවන පෙම්වතා වෙන කවුරුවත් නෙමෙයි. මේ ගීතය රචනා කල කරුණාරත්න අබේසේකර මහතාමයි. එතුමාගේ පසුකාලීනව ප්‍රිය බිරිඳ වූ රාණි අබේසේකර මහත්මියට ලියපු ගීතයක් තමයි මේ.


කතාව මේකයි. කරුණාරත්න සහ රාණි යුවල පෙම්වතුන් වූවාට පසු රාණි "මෙනෙවියගේ" පියා මේකට කැමති වුවත් මව නම් කැමතිවුණේ නැහැ. ඒ නිසාම රාණි මෙනෙවියට තහං‍චි ගොඩක් වැටුණා. ඒ වෙනකොටත් ඇගේ පෙම්වතා ගුවන්විදුලියේ නිවේදකයෙක් වීම නිසා ගුවන්විදුලිය ඉවත් කර තබන්නට මව්තුමිය කටයුතු කලා. ඒ නිසාම අබේසේකරයන් පුවත්පතට කවි ලියන්න පටන් ගත්තා තම පෙම්වතියට අමතන්න. ඊට පස්සේ පත්තර ගන්න එකත් තහනම් කලා. ඊට පස්සේ රාණි මෙනෙවියගේ රියදුරු අතේ පණිවිඩ යවන්න හැදුවාම ඒ පුද්ගලයාටත් රැකියාව අහිමි වුණා. අවසානයේ දී කිසිම අයුරකින්වත් පණිවිඩයක් යවා ගන්න බැරි නිසා හිතේ තියෙන දුක වැඩිකමට මේ ගීතය රචනා කරලා දුන්නා තිලකසිරි ප්‍රනාන්දු මහතාට එතුමාගේ ප්‍රසංගයකට ගීතයක් ලියවාගන්න අවශ්‍යතාවක් ඇතිවූ නිසා. හැබැයි මේ ගීතය නම් රාණි අබේසේකර මහත්මියට අහන්න ලැබුණේ විවාහ වෙලා බොහෝ කාලයකට පස්සේ.


කතාවේ හොඳම හරිය මේකයි. මේ ප්‍රශ්නය විසඳාගන්න ඕන නිසාම දවසක් කරුණාරත්න අබේසේකර මහතාගේ බාල සහෝදරයින් දෙදෙනා වන ගුණරත්න අබේසේකර සහ දයා අබේසේකර (මේ දෙදෙනාත් නිවේදකයෝ ලෙස මාධ්‍යයට එක්වුණා.) දෙහිවල පිහිටි රාණි මෙනෙවියගේ නිවසට ගියා. ගියේ ඇගේ මව්තුමිය මුණගැහිලා කතා කරන්න. ගෙදර දොරකඩ ඉඳගෙන ම මව්තුමිය "අබේසේකරලා එක්ක මගේ කතාවක් නැහැ" කියමින් ගේ ඇතුළට ගියා. ටික වෙලාවක් ගිහින් වීදුරු භාණ්ඩ වගයක් බිඳෙන හඬක් ඇහුණා. ඒ නිසාම අබේසේකර සහෝදරයෝ දෙදෙනා නැවත ගෙදරට ආවා. ගෙදර ඇවිත් ටික වෙලාවකින්, පොලිසියෙන් එනවා අයියා මලෝ දෙදෙනාව හොයාගෙන. බලනකොට රාණි මෙනෙවියගේ මව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා මේ දෙන්නා තමන්ගේ ගෙදරට ඇවිත් බඩු කඩලා ගිහින් කියලා!!!


ඔය තරම් දරුණු ප්‍රශ්න පැමිණියාට පස්සේ, රාණි මෙනෙවියව ඇගේ මාමා කෙනෙක්ගේ නිවසකට යැව්වා. ඒ මාමාටත් ගැහැණු දරුවන් හතරදෙනෙක්. ජර මර අස්සේ බර කරත්ත කියනවා වගේ පස්වෙනියෙකුත් ඇවිත් දැන් ගෙදර නතර කරලා. අන්තිමේ දී බැරි ම තැන ඒ මාමා අබේසේකරයන් ඇවිත් මුණ ගැහිලා තමන්ගේ දුක් අඳෝනාව කියා රාණි මෙනෙවියව විවාහ කරගන්න කියලා කිව්වා. ඒවායේ ප්‍රතිඵලයක් හැටියට අවසානයේ මේ පෙම්වතුන් යුවල විවාහ වුණා. ගාලු මුවදොර හෝටලයේ දී රුක්මණි දේවී, එඩී ජයමාන්න වැනි ඒ යුගයේ ජනප්‍රිය තාරකාවන් රැසක් සහභාගි වූ උත්කර්ෂවත් විවාහ උත්සවයක් ලෙස එය ඉතිහාස ගත වුණා. අවසානයේ දී අනාරාධිතව ද විශාල ජනකායක් පැමිණි බවත් වාර්තා වී තිබෙනවා!!!



Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page