top of page
Search

බැහැයි කියල බැහැයි කියල බෑ - දොස්තර හොඳ හිත

  • මාධව විජේසේකර
  • May 31, 2017
  • 3 min read

හඬ : දීපිකා ප්‍රියදර්ශනී පීරිස්

හඬ : රසාදරී පීරිස්

හඬ : රවීන්ද්‍ර මුණසිංහ

පද : ප්‍රේමකීර්ති ද අල්විස්

තනුව : සෝමසිරි ඉලේසිංහ

බැහැයි කියල බැහැයි කියල බෑ

බෑ කියලා බැරිය මලේ බෑ කියලා බැරිය නඟේ බෑ කියලා බෑ බෑ බෑ...

මල් පිපුනේ සුවඳ දෙන්න බෑ යි කියල බෑ තටු ලැබුණේ පියාඹන්න බෑ යි කියල බෑ අත් ලැබුණේ වැඩ කරන්න බෑ යි කියලා බෑ මේ ලෝකේ කිසිම දෙයක් බෑ යි කියලා බෑ

අපි හැදුනේ රට රකින්න බෑ යි කියලා බෑ රට වෙනුවෙන් වැඩ කරන්න බෑ යි කියල බෑ යුතුකම් ඇත ඉටු කරන්න බෑ යි කියල බෑ නඟේ මලේ කිසිම දෙයක් බෑ යි කියලා බෑ

අපි කවුරුත් ඉතාම ආදරේ කරපු අදටත් ආදරේ කරන දොස්තර හොඳ හිත කාටූන් මාලාවේ පැමිණි ජනප්‍රිය ගීයක්. මේ ගීතය විතරක් නෙමෙයි තවත් ලස්සන ගීත රැසක් අපිට මේ කාටුන් මාලාවෙන් අහන්න දකින්න ලැබුණා. ලා තණකොල පෙත්තාස් කියන සංගීත කණ්ඩායම ගයනවා වගේ තමයි අපිට මේවා දකින්න ලැබුණේ. මේ ලස්සන ගී පද මාලා සියල්ල රචනා වුණේ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා අතින්. සංගීතවත් කලේ සෝමසිරි ඉලේසිංහ මහතා අතින්. එතුමා තවත් කාටුන් ගීත රැසකට සංගීතය සපයා තිබෙනවා.


මේ ගීතයේ මුල් පද ටික ලියවිලා තියෙන්නේ මෙහෙමයි. ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ටයි මහත්තයාගේ මරුවා සමග වාසේ චිත්‍රපටියට තැටිය මැද්දෙ කළු කරාපු ගීතය ලියලා දුන්නට පස්සේ ප්‍රේම්-ටයි සුසංයෝගයක් නිර්මාණය වුණා කියලා මම කලින් ලිපියක සඳහන් කලා මතක ඇති. ඉතින් මේ දෙදෙනාම මේ වෙනකොට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සේවය කරනවා. හැබැයි ප්‍රේමකීර්ති මහතා හරිම කාර්ය බහුලයි. මේ කාටුන් වැඩසටහනට ගීතයක් නිර්මාණය කරන්න ටයි මහත්තයා ගොඩ දවසක් කියලා තිබුණත් ඒක කරන්න විදියක් තිබිලා නැහැ.


දවසක්, ටයි මහත්තයාත්, ප්‍රේමකීර්ති මහතාත්, අබේවර්ධන බාලසූරිය මහතාත් රූපවාහිනී සංස්ථාවේ ආපනශාලාවට වෙලා ඉන්න අතරේ මේ ගැන කතාවුණාලු. ටයි මහත්තයා "යකෝ උඹට බැරි නම් බැහැයි කියපන්" යනුවෙන් එක්වරම කිව්වා. ඒ එතුමාගේ කතා විලාසය. එක්වරම ප්‍රේමකීර්ති මහතා අත පිහින කඩදාසියක් අරන් මේ ගීතයේ මුල් වචන ටික ලිව්වාලු. "හා මේක හොඳයි කියලා" ටයි මහත්තයා අනුමත කලාලු.


ගීතයේ ඉතුරු වචනටික ලියවුණු ගැන රූපවාහිනී හඬ කැවීම් අංශයේ වත්මන් ප්‍රධානි අතුල රන්සිරි ලාල් මහතා මෙහෙම කියනවා.


"මීට කලින් ඉඳලා ටයි මහත්තයත්, මමත් අතර පුංචි යාළුකමක් තිබුණා. ඒ දොස්තර හොඳ හිතට ඕන ලා තණ කොළ පෙත්තාස් ගීත කණ්ඩායම හොයන කාලයේ. මේ අපූරු වැඩේ ටයි මහත්තයා මට පැවරුවා. මම ඒ දවස්වල හිටියේ මඩවල එස්. රත්නායක මහත්තයා ගාවට වෙලා.


කොහොම වුණත් එතුමා ළඟ වැඩ කරන අතරතුර ‘ලා තණකොළ පෙත්තාස්’ ගීත කණ්ඩායම හොයා ගන්නේ කොහොමද කියලා දස අතේ කල්පනා කළා. මගේ මතකයට ආවේ මම උගන්වන කළුබෝවිල සම්බුද්ධ ජයන්ති දහම් පාසලයි. මගේ ළඟ හිටියා සමස්ත ලංකා හැම ගායන තරගයකින්ම අංක එක ලබා ගත්ත භක්ති ගීත කණ්ඩායමක්. ඒ කණ්ඩායම ජාතික රූපවාහිනියට ගෙනාවා. දීපිකා ප්‍රියදර්ශනී, රසාදරී පීරිස්, රවීන්ද්‍ර මුණසිංහ කියන අද ක්ෂේත්‍රයේ ජනප්‍රියත්වය හිමි කර ගෙන සිටින බොහෝ දෙනෙක් එතන හිටියා.


හඬ කැවිම් ඒකකය එදා අද තරම් විශාල ප්‍රමාණයක තැනක් නෙමෙයි. කබඩ් දෙකකින් වෙන් කරලා තිබුණු පුංචි කෑල්ලක තමයි ඔබ මේ තරම් ආදරය කරන කාටුන් කාර්යාලය ගොඩ නැඟුණේ. මිලි මීටර් 16 ක සංස්කරණ යන්ත්‍රයක් තියාගෙන ටයි මහත්තයා වැඩේ පටන් ගත්තේ.


ටයි මහත්තයා චිත්‍රපටය බලලා ගැළපෙන දෙබස් කියනවා, මම ලියනවා. වෙලාවකදී කියපු දෙබසක් අයෙත් වෙනස් කරලා ඊටත් වඩා රසවත්ව කියනවා. මම දැනගන්න ඕන මේක කිව්වේ කලින් දෙබස වෙනුවට කියලා. එහෙම නොවුණොත් කෝටියක බැනුම් අහන්න අපි ඉන්නේ සූදානම් ශරීරෙන්.


මේ විදියට දොස්තර හොඳ හිත පිටපතක් අඩුම ගණනේ සති දෙකක් විතරවත් මුල ඉඳලා ලියන්න මම සූදානම්. ඒතරම් ජීවයක් ඒ කාටුන්වල තියෙන්නේ ඒ නිසා කියලා අපට හිතෙන්නේ දැන් තමයි.


මේ කාටුන්වල ගීත නිර්මාණයෙත් අපූරු ඉතිහාසයක් හැංඟිලා. ඔහු මේ කාටුන්වල තියෙන ඉංග්‍රිසි ගීතය සම්පූර්ණයෙන්ම අරන් දමනවා. මොකක් හරි කොළයක කුරුටු ගානවා. ‘අතුල, ප්‍රේමකීර්ති ළඟට අරන් ගිහින් හදාගෙන වරෙන්’. මමත්, අනුරත් මේ කොළය අරගෙන ප්‍රේමකීර්ති මහත්තයා ළඟට දුවනවා. ආයෙත් එනවා. ආයෙත් යනවා. ඔහොම ඉඳලා ඉඳලා කොහොම හරි ඔන්න ප්‍රේමකීර්ති ගන්නවා ටයිප් රයිටරේ, ඔහුම ටයිප් කරනවා.


‘අපි හැදුනේ රට රකින්න බැහැයි කියලා බෑ

රට වෙනුවෙන් වැඩ කරන්න බැහැයි කියල බෑ

යුතුකම් ඇත ඉටු කරන්න බැහැයි කියල බෑ

දුවේ පුතේ කිසිම දෙයක් බැහැයි කියලා බෑ’


සෝමසිරි ඉලේසිංහ මාස්ටර් මේකට තනුවක් දානවා. ඔන්න ඔහොමයි ලොකු පොඩි හැමෝම අදත් ආදරය කරන දොස්තර හොඳ හිත, පිස්සු පූසා වගේ කාටුන් බිහි වුණේ."

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page