අනංගවාදය
- මාධව විජේසේකර
- May 31, 2017
- 4 min read




අතීතයේ ගුවන්විදුලිය කියන්නේ රස ගුලාවක්. ඒ වගේම ගුවන්විදුලිය ඇසුරේ බිහි වු නිර්මාණ බොහොම සුන්දරයි. ඒ නිර්මාණ බිහිවිම එක්ක බැදුණු අපූරු රස කතා එමටයි. ඒ අතර බොහොම අපූරු රස කතාවක් තමයි "අනංගවාදය" කියන්නේ.
දවසක් ජෝතිපාල මහත්මයා ගිහින් තියනවා කරුණාරත්න අබේසේකර මහත්මයා මුණගැහෙන්න එතුමාගේ සැලැස්කි පෙදෙසේ තියන ගෙදරට. නමුත් එදා කරු අයියා (කරුණාරත්න අබේසේකරයන් එදා ගුවන්විදුලියේ හැදින්වුයේ එසේය) ගෙදර ඉදලා නෑ. ජෝතිපාල මහත්මයා, කරු අයියා හොයාගෙන එදා ගෙදර ගිහින් තිබුණේ තමන්ගේ හිතේ තිබුණු තාලයට ගීතයක් ලියාගන්න. කරු අයියා රෑ වෙනකන්ම් එන පාටක් නැතිබව වැටහුණු ජෝතිපාලයන්, කරුණාරත්න අබේසේකරයන්ගේ මල්ලී ඒ කියන්නේ ගුණරත්න අබේසේකර මහත්තයට කියලා තමන්ගේ හිතේ තිබුණු තාලයට අනුව ගීතයක් ලියාගත්තා. මේ ගීතය හින්දි තනුවකට යි ලියවා ගත්තේ.
අනංගයා මං අනංගයා අනංගයා මං අනංගයා
ආදරේ ප්‍රේමයේ සුරලොව තනතුරු දැරූ
අනංගයා මං අනංගයා අනංගයා මං අනංගයා
රාම සිතා එක්වුණේ රාධ ක්‍රිෂ්ණා ලන්වුණේ සාලිය කුමරුට අශෝක මාලාවන් අත්වුණේ මා හින්දය් මේ ලොවේ හැම යුවලම එක්වුණේ අර සුර ලොවෙ මනු ලොවේ කොතැනත් මගෙ බල පෙනේ
තරුණ හදක් සොයනවා මල්සර පහ යොදනවා මේ උක්දඩු දුන්න නමා මල් හීයෙන් විදිනවා කුල බලේ නිල බලේ දන බලේ පන්නලා අතුපැලේ මාලිගේ පෙම්වතුන් ලන්කලා
පැන දුවන්න ඕන නෑ දුක් විදින්න ඕන නෑ මා ජීවත්වනතුරු මේ පෙම්ලෝකය පාළු නෑ ආදරේ ප්‍රේමයේ සුරලොව තනතුරු දැරූ මල්සරා පෙම්සරා මගුල් සක්වලේ රජා
ගායනය - එච් .ආර් ජෝතිපාල ගී පද - ගුණරත්න අබේසේකර
මේ ගීතය ගුණරත්න අබේසේකර මහත්තයා ලිව්ව දවසට පහුවදා ජේ.ඒ.මිල්ටන් පෙරේරා මහත්තයා ගිහින් තියනවා කරුණාරත්න අබේසේකර මහත්තයා මුණගැහෙන්න එතුමාගේ ගෙදරට. ඒ වෙලාවේ ගුණරත්න අබේසේකර මහත්තයත් ගෙදර ඉදලා තියනවා. ඒ වගේම ටික වෙලාවක් යනකොට ජෝතිපාල මහත්තයත් ඔන්න එතනට ඇවිත් තියනවා. පස්සෙ ඉතිං මේ කට්ටිය ලොකු කතාවක් පටන් අරගෙන කලින් දවසේ ලියපු සින්දුව ගැනත් කතා බහ කරනවා. අවසානයේ වාද බයිලා වගේ වාද ගීත ටිකක් කරමු කියලා කට්ටිය තිරණය කරනවා. ඔන්න ඊට පස්සේ කරු අයියා තමන්ගේ මල්ලි ජෝතිපාලයන්ට ලියපු "අනංගයා මං" ගීතයට උත්තරයක් ලියනවා.ඒ ගීතය ගායනා කලේ ජේ.ඒ මිල්ටන් පෙරේරා මහත්තයා.
සුපෙම් ලොවේ කුසුම්සරා මල්සරා ඔය අනංගයා තමය් මහා පෙම්හොරා රාජ දරුවො රාජ ඔටුනු අත්හළේ සාලිය කුමරුන් රැදෙව්වෙ රොඩි පැලේ රාවණ රජු සිතා කුමරි හිරකළේ වානරා හනුමන්ත මන්ද මැව්වෙ ගිනිමැළේ කුස නර නිරිදා ඩුක් වින්දේ ඇත්හලේ අනංගයා නිසයි කුලය නිලය ධනය බලය සලකලා වටින තරුණ තරුණියන්ව නැතිකළා වස විෂ බොන්නේ මිය යන්නේ එල්ලිලා අනංගයා නිසයි දෙමපියන් වැඩිහිටියන් නොසලකයි උදේ දවල් රෑ යාමේ දහ දුකයි මේ මල් හීසර විදින දුන්න හරි සැරයි අනංගයා වසයි ගායනය - මිල්ටන් පෙරේරා ගී පද - කරුණාරත්න අබේසේකර
මේ ගීත දෙක වෙළද සේවය ඔස්සේ ප්‍රචාරය වීමත් එක්ක අනංගවාදයට මුල පිරුණා. මේ පිළිබද යම්කිසි කසුකුසුවක් පැතිරෙන්න පටන් ගත්තා. ඔය අතරේ ඒ කාලේ වෙළදසේවයේ මුල්පුටුවේ හිටපු ලිවි ආර්. විජේමාන්න මහත්තයා ගුණරත්න අබේසේකරයන් අතින් තවත් ගීතයක් ලියවාගෙන ජෝතිපාලයන් ලවා ගායනා කොට ප්‍රචාරය කරනවා.
පෙම්වතුන්ට සරණේ අනංගයා මමනේ පෙම් සටනින් පැරදී දොස් නැගීම වැරදී පෙමින් වෙලී කාලිදාස මහා කවක් බිහිකළේ කලාකාමි කවි සිත් වල කවි රසයක් මතු කළේ සන්ගීතය පෙම් ගීතය පණගන්වා ඔප කළේ අනංගයා මමය් ලොවේ මහා හපන්කම් කළේ මහානාග ළග ෂීලා ජයපාලද මාලිනී ආදරයෙන් එකතු උණා අතුල සමග රෝහිණී නැපෝලියන් සීසර් වැනි අයටත් ආලය දැනී මගෙහීසර පහර ලබා පෙම්ගීයෙන් මත්වුනී ඉස්තිර ආලය නොතකා දෙතුන්දෙනෙක් ගැන සිතා වස බොන්නේ මිය යන්නේ චපල සිතක් ඇති නිසා කවුරුන් කොය් ලෙස කීවත් රජා මගුල් සක්වලේ තරුණ ලොවේ රජදහනේ මම පෙන්වමි මගෙ බලේ ගායනය - එච් .ආර් ජෝතිපාල ගී පද - ගුණරත්න අබේසේකර
මේකට පිලිතුරු ගීයක් නැවත කරුණාරත්න අබේසේකරයන් අතින් ලියා මිල්ටන් පෙරේරා මහතා ලවා ගායනා කරවනවා.
අනංගයා සරණේ පෙම්වතුන්ගේ මරණේ තරුණ තරුණියන්ට නොමැත දෙවියනි රැකවරනේ බ්‍රිතානියේ කිරුළ අයිති විල්සන් අධිපදයා මල් සරගෙ හීය වැදී රජ සැප හැරදා ගියා දුෂ්මන්තා කුමරු සමග ශකුන්තලා පැටලුනේ මල් දුන්නෙන් විදපු නිසයි ඇවිදිනකොට ඇය අනේ
කවියන් ගත් කරුවන් ලොව උමතුවෙලා වැළපුණේ අනංග හී සරය නිසයි සක් දෙවියන් ගොළු උණේ ලෙයිලා මජ්නූ පෙම් කතාව හද දෙදරන පුවතකි කුසුම් සරා වාසි අතට පගා ගහන මිනිසෙකි සෙල්ලම් බට දුන්නෙන් විද මුවා වෙලා සැඟවිලා මිල්ටන් වැනි මහ කවියන් මල් සරාට රැවටුණා
රෝමියෝ ජුලියට් වාගේ පෙම් බැඳියන් රැවටුණේ මල් දුනුවට මල් සරාය මැව්වේ හද ගිනි මැලේ.... ගායනය - මිල්ටන් පෙරේරා ගී පද - කරුණාරත්න අබේසේකර
මේ ගීත ඒ කාලේ උදේ සවස මාරුවෙන් මාරුවට ගුවන්විදුලිය ඔස්සේ ප්‍රචාරය විම නිසා රට පුරා කට කතා පැතිරෙන්න පටන් ගත්තා. කරු අයියයි එයාගේ මල්ලියි තරහා වෙලා. ඒ විතරක්ද දිවෙන් දිව ගාගෙන හිටපු මිල්ටනුයි ජෝතියි තරහා වෙලා. මේ වගේ කතා ගොඩක් මිනිස්සු අතරේ යන්න පටන් ගත්තා. ඒ වගේම පුවත්පත් වලින් පවා මේ හතර දෙනාගෙන් විමසලා තියනවා. අන්තිමේ මේ පැතිරෙන කට කතා ඒ තරම් හොද දේවල් නෙවෙයි කියලා හිතපු කරු අයියා සහ ගුණරත්න අබේසේකර මහතා, ජෝතිපාල මහත්තයයි, මිල්ටන් පෙරේරා මහත්තයයි තමන්ගෙ ගෙදරට ගෙන්නලා තවත් ගීතයක් ලියලා දෙනවා. ඒ ගීතය ජේ.ඒ. මිල්ටන් පෙරේරා සහ එච්. ආර් . ජෝතිපාලයන් විසින් එක්ව ගායනා කරනවා.
අපි සන්තෝසෙන් ඉන්නේ දුක ශෝකය නෑ දන්නේ අය්යා මල්ලී වාගේ අය්යා මල්ලී එක හැලියේ බත් කන්නේ එක සෙව්නේ නිදියන්නේ අය්යා මල්ලී වාගේ අය්යා මල්ලී අපෙ සිත්වල නෑ ක්‍රෝදේ විහිළුවටයි විවාදේ අනුනට නෑ ඔරවන්නේ අවිහිංසක ලෙස ඉන්නේ සැපතේ විපතේ වේවා එක්වී එකටම ආවා අය්යා මල්ලී වාගේ අය්යා මල්ලී සිංහල රජිදෙකු පෙරදා මිතුදමේ අගය පහදා තම හිතවත්කම පෙන්වා මහ ගිනිමලයට පැන්නා දුක සැප දෙකේම වාසෙ ඇදි බිත් සිතුවම් රූසේ අය්යා මල්ලී වාගේ අය්යා මල්ලී හැමදා උපදින වාරේ හමුවේවා සංසාරේ කවදත් එකටයි ඉන්නේ කිසිවිට නෑ වෙන් වන්නේ ජීවිතේ මිහිර විදිමු ප්‍රීතියෙන් ගීත ගයමු අය්යා මල්ලී වාගේ අය්යා මල්ලී ගායනය - ජෝති / මිල්ටන් ගී පද - කරුණාරත්න අබේසේකර / ගුණරත්න අබේසේකර
අනංගවාදය කෙළවර වුණේ ඔන්න ඔහොමයි.
Komentarze