ප්‍රීතී ප්‍රීතී - අශෝකමාලා (1947)
- මාධව විජේසේකර
- May 28, 2017
- 3 min read


හඬ : භාග්‍යාරතී ඇතුළු පිරිස
ප්‍රීතී ප්‍රීතී //
චන්ද්‍රාලෝකේ නිසා ප්‍රියාවී //
චංචල වේ ජීවන මේ මනහාරී //
හර්දේ පීරා ප්‍රීතී එයි
ආ... දුල් ශාන්ති දෙයි
හා... ආ... දුල් ශාන්ති දෙයි
ප්‍රේමෙ දුල් ශාන්ති දෙයි
ආලෝකේ මේ රම්‍ය ප්‍රේමයේ//
චංචල වේ ජීවන මේ මනහාරී //
ප්‍රීතී ප්‍රීතී //
චන්ද්‍ර කාන්ති සාගරේ ගිලී.... මන්ද මාරුතේ //
නාමූ අමා ජලේ ප්‍රේමේ කුසුම් පිපේ//
චංචල වේ ජීවන මේ මනහාරී //
ප්‍රීතී ප්‍රීතී //
අශෝකමාලා චිත්‍රපටියේ එන අතිශය ජනප්‍රිය ගීතය මෙය යැයි කිව්වොත් බොහෝ දෙනා ඊට එකඟ වෙනවා කියලා මම හිතනවා. මේ ගීතයේ 1:11 වන සහ 3:03 දර්ශන බලන්න. එහි තරුණයන් තිදෙනෙක් සිටියි. එම තරුණයන් තිදෙනාගෙන් දකුණු පස කෙලවරේම සිටින්නේ මොහිදීන් බෙග් මාස්ටර් ය. 4:24 දර්ශනයේ දී පසුබිමින් තරුණයන් රංගනයේ යෙදෙන අතර එම අවස්ථාවේ දී ද වම් කෙලවරේම සිටින්නේ මොහිදීන් බෙග් මාස්ටර් ය.
මීට අමතරව 1985 කල්පනා සඟරාවට පණ්ඩිත් අමරදේවයන් (එවකට ඇල්බට් පෙරේරා) මාධ්‍යවේදී පාලිත පෙරේරාට සම්මුඛ සාකච්ඡාවක් දෙමින්, තමාට ද මෙම දර්ශනයේ නැටුම් ඉදිරිපත් කරන්නට සිදුවූ බවත්, අධ්‍යක්ෂ ශාන්ති කුමාර් මහතා තමන්ට නැටුම් පුරුදු කල අතර තමන් එදා ලැජ්ජාවෙන් ඒ දර්ශනයට පෙනීසිටි බව පවසා තිබෙනවා.
මෙහිදී අමරදේවයන් පෙනී සිට ඇත්තේ ස්ත්‍රී වෙස්ගත් නළඟනක් හැටියට බව එතුමා පවසා තිබෙනවා. "ඒ කාලේ ඉතාම අතලොස්‌සක් තමයි ඉන්දියාවට යන්නේ. සෑම දෙයක්‌ම කරන්න මේ කට්‌ටියගේ සහාය ගන්න වෙනවා. අසෝකමාලා බයිස්‌කෝප් එකේ මම රඟපෑවේ හිඟන්නාගේ චරිතය විතරක් නොවේ. එක නැටුම් ගීතයක නිළියොත් එක්‌ක මමත් නැටුවා, සමූහ නැටුම් ගීතයට කට්‌ටිය මදි නිසා ශාන්ති කුමාර් මාවත් හදිසියේ පුහුණු කළා. අශෝකමාලා මංගල දර්ශනය බලපු මට මේ සිංදුව දැකල ලැඡ්ජත් හිතුණා. ඒත් මේක දැනගෙන හිටියේ ඉන්දියාවට ගිය පිරිස විතරයි" යනුවෙන් අමරදේවයන් පවසා ඇත්තේ 80 දශකයේ ආතර් යූ. අමරසේනයන් කර්තෘත්වය දැරූ "සිත්සර" පුවත්පතටය.
මීට අමතරව ගවුස් මාස්ටර් ද කකුලක් පිට කකුලක් දමා රාජ සභාවේ දර්ශනය රඟපා තිබෙනවා. මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ගාන්ධර්ව අපදාන ග්‍රන්ථ මාලාවේ පළමු වෙළුම වෙන්කර ඇත්තේ මොහොමඩ් ගවුස් සහ බී. ඇස්. පෙරේරා සංගීතවේදීන් දෙපළ වෙනුවෙනුයි. එහි ගවුස් මාස්ටර් රඟන දර්ශනයේ ඡායාරූපයක් ඇතුළත්ව තිබෙනවා.
අශෝකමාලා චිත්‍රපටිය ගැන සැකෙවින් :
තිරගත වුණ දිනය – 1947 අප්‍රියෙල් 09
නිෂ්පාදනය - ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් (සීමාසහිත සිලෝන් තියටර්ස්)
සම අධ්‍යක්ෂණය - ශාන්ති කුමාර් සෙනෙවිරත්න / ටී. ආර්. ගෝපු
දෙබස් සහ උප අධ්‍යක්ෂණය – මයිකල් සන්නස් ලියනගේ
තිර රචනය / නැටුම් පුහුණුව - ශාන්ති කුමාර් සෙනෙවිරත්න
සංගීත අධ්‍යක්ෂණය - මොහොමඩ් ගවුස්
සංගීත අධ්‍යක්ෂණයට සහය සහ වයලින් වාදනය – ඩබ්. ඩී ඇල්බට් පෙරේරා (ඩබ්. ඩී. අමරදේව)
ගීත පටිගත කිරීම – දකුණු ඉන්දියාවේ කොයිම්බතූර්හි සෙන්ට්‍රල් ට්ත්‍රගාරය
ගීත සංඛ්‍යාව - 10
ගීත ප්‍රබන්ධය – ඩී. ටී. ප්‍රනාන්දු
ගීත හා ගායන ශිල්පීන්
භවේ භීත හැර – ඩබ්. ඩී. ඇල්බට් පෙරේරා
ප්‍රීති ප්‍රීති – භාග්‍යරති සහ පිරිස
හෝ ප්‍රේමේ බැබැලේ - මොහිදීන් බෙග් / භාග්‍යරතී
ශාන්ත මේ රාත්‍රියේ - භාග්‍යරතී
ආලේ මගේ - මොහිදින් බෙග්
ඇයි කරේ යමෙක් ආලේ - ඩබ්. ඩී. ඇල්බට් පෙරේරා
ජලේ මේ දැන් ගීත – භාග්‍යරතී
නයනා වැනි සුදෝ - මොහිදින් බෙග් / භාග්‍යරතී
ආලෝකේ දෙයි – භාග්‍යරතී
සදවු ජය ශ්‍රී - මොහිදින් බෙග්
කැමරාව - ඇම්. මස්තාන්
චිත්‍රාගාරය - සෙන්ට්‍රල් චිත්‍රාගාරය – දකුණු ඉන්දියාව
වැඩ ආරම්භ කළ දිනය – 1946 ඔක්තෝම්බර් 09
රඟපෑම් -
ශාන්ති කුමාර් සෙනෙවිරත්න (සාලිය)
එමලින් දිඹුලාන (අශෝකමාලා)
මයිකල් සන්නස් ලියනගේ් (විපුල සෙනෙවි)
හර්බි සෙනෙවිරත්න (සේන)
දොන් එඩ්වඩ් (රන්කිරා)
ඔස්ටින් අබේසේකර (අභය ඈපා)
මයිකල් රුද්‍රිගූ (දුටුගැමුණු රජ)
මෙහිදීන් බෙග්
ඩබ්. ඩී. ඇල්බට් පෙරේරා (අමරදේව)
ශ්‍රීමතී කරුණාදේවි
සූරියමුත්තු
සුනිල් ප්‍රේමදාස
එන්. එම්. සාදුවර්ධන
නැටුම් - ශාන්ති විරාජ් / මධුර එස්. සුභලක්ෂ්මි
ආදායම – රු: ලක්ෂ 15
චිත්‍රපට ගත කිරීමට ගත වූ කාලය – මාස 06
ප්‍රදර්ශනය - සීමාසහිත සිලෝන් තියටර්ස්
පළමුවර ප්‍රදර්ශනය – 1947. 04. 09 සිට කොළඹ රීගල්, 04/10 සිට ඇල්ෆින්ස්ටන්, 4/11 සිට මැජෙස්ටික්, කැපිටෝල්
මංගල දර්ශනය – රීගල් සිනමා ශාලාවේදී මහමාන්‍ය ඩී. එස්. සේනානායක සහ එම මැතිනියගේ ප්‍රධානත්වයෙන්.
Comments