ඇයි කලේ යමෙකු ආලේ - අශෝකමාලා (1947)
- මාධව විජේසේකර
- May 28, 2017
- 6 min read



ඇයි කලේ යමෙකු ආලේ //
මේ ලෝකේ // මායාකාරී
ඇයි කලේ යමෙකු ආලේ
වනෙහි පක්ෂී තෝරා විසඳා
බලනු නීරස භාවේ//
කරත ආලේ යමෙක් මෙ ලෝකේ//
නො තිර දේ දෝෂා
තිරසර ආලේ අමරණීය වේ
පුදමු ජීවිතේ නෑ දුකා
කර්ම විපාකේ සේ ඒ ආලේ
ජනහටා පැතූ සේ පල දේ
සෑසි ධර්මේ දේසිත කර්මේ
පහදා දුනි ලොවටා
ඇයි කරේ යමෙක් ආලේ
මේ ගීතයත් අශෝකමාලා චිත්‍රපටියේ ඇතුළත් වුණ ගීතයක්. හැබැයි මේ රූපරාමු බලන කොට තාපසයෙක් ඉන්නවා ඔබ දකිනවා ඇති. කවුද මේ තාපසයාට රඟපාන නළුවා? ඔහු වෘත්තිමය නළුවෙක් නම් නොවෙයි. ඒ අන් කවරෙකුවත් නොව මේ ගීතය ගයන අමරදේවයන්. හැබැයි එතකොට අමරදේවයන්ගේ නම නම් ඩබ්. ඩී. ඇල්බට් පෙරේරා. වයස අවුරුදු 19ක පාසල් ශිෂ්‍යයෙක්. කොහොමද මේ පාසල් ශිෂ්‍යයෙක් චිත්‍රපටි ගායකයෙක් වුණේ? හොයලා බලන්න වටින කතාවක්.
ඒ කතාව 2016/12/04 දින දිවයින ඉරිදා සංග්‍රහයේ ඇතුළත් ව තිබුණා. ඒ නිසා මම ඒ පුවත්පතේ සඳහන් ව තිබූ ආකාරයට මෙහි පළ කරන්නම්. භාග්‍යා කුමුදුනී නම් මාධ්‍යවේදිනිය තමයි මේ ලිපිය ලිව්වේ.
පාසල් අවධියේ ම ඇල්බට් පෙරේරා නොහොත් කුඩා අමරදේවට යහපත් මිතුරු ආශ්‍රයෙන් නම් අඩුවක් නොවීය. කුඩා අමරදේවට පාසල් වියේ හමුවූ පුද්ගලයකු නම් ජෙරට් ඡේ. පීරිස් ය. ඔහු දක්‍ෂ වයලින් වාදකයකු වීම නිසා කුඩා අමරදේව ජෙරට් ගේ ආශ්‍රය සැලකුවේ මහා නිධානයක් සොයා ගත්තා මෙන්ය. තම ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය කරා පා නඟන්නට ඒදණ්‌ඩ බවට පත්වන්නේ ජෙරට් ඡේ. පීරිස් බව කුඩා අමරදේව කිසි විටකත් නොසිතන්නට ඇත. මොහොමඩ් ගවුස් මාස්‌ටර්ගේ වාදක මණ්‌ඩලයේ නිත්‍ය සාමාජිකයකු වූයේ ජෙරට් ඡේ. පීරිස් ය. ගවුස් මාස්‌ටර් සමඟ සංගීත කටයුතුවලට සහභාගි වී පැමිණෙන දිනවල කුඩා අමරදේව ජෙරට් එනතුරු සිටින්නේ නො ඉවසිල්ලෙනි. ගවුස් මාස්‌ටර්ගේ දක්‍ෂකම් ගැන කියන ලොකු පම්පෝරිය ගැන අසන්නට කුඩා අමරදේව දැක්‌වූයේ කියන්නට බැරි තරම් ආසාවකි. නමුත් ගවුස් මාස්‌ටර් ගැන පත්තරවලින් මෙන්ම කොළඹ වයර්ලස් කොම්පැනියෙන් ද කුඩා අමරදේව අසා තිබුණත් මාස්‌ටර්ව දැක තිබුණේ නැත. කුඩා අමරදේවගේ සංගීතයට ඇති ඇල්ම ගැන පැහැදුණු ජෙරට් ඡේ. පීරිස් සති අන්තයක ගවුස් මාස්‌ටර් හමුවට යන වේලාවක කුඩා අමරදේව ද තම ගමනට එක්‌කර ගත්තේ මේ කොලු ගැටයා අනාගතේ දැවැන්ත සංගීතඥයකු වන බව ඉඟියෙන් දැන සිටි නිසා විය යුතුය.
එකල ගවුස් මාස්‌ටර්ගේ ශාන්ති කලා නිකේතනය පිහිටා තිබුණේ බම්බලපිsටියේ ය. උදේ රැයින් මොරටුවෙන් රේල්ලුවට ගොඩ වූ කුඩා අමරදේව සහ ජෙරට් සංගීතඥයා බම්බලපිටියෙන් බැස අශෝක උද්‍යානයේ වූ 'ශාන්ති කලා' නිකේතනයට සේන්දු වුණේ කුකුළා අතින් ගෙන ය.
ගවුස් මාස්‌ටර්ට වැඩි කල් නොගිහින්ම අලුත් ගෝලයා හිතට ඇල්ලුවේ ය. ගවුස් මාස්‌ටර් වැඩිකල් නොගොස් අලුත්ගෝලයා තම වාද්‍ය කණ්‌ඩායමට බඳවා ගැනීමට පියවර ගත්තේය. හිස් මාස්‌ටර් වොයිස්, කොලොම්බියා ආදී එකල නම් දැරූ ග්‍රැමපෝන් තැටි සමාගම්වලට සංගීතය සැපයූ ගවුස් මාස්‌ටර් වාදන සහායට කුඩා අමරදේව නොහොත් ඇල්බට්‌ට අවස්‌ථාව දුන්නේ කුහකකමකින් තොරව යෑයි කිවහොත් වඩාත් නිවැරැදිය.
කුඩා අමරදේවගේ තාත්තා ගවුස් මාස්‌ටර්ට දැක්‌වූයේ ඉමහත් ගෞරවයකි. තම පුතා ඉස්‌කෝලෙට වඩා ගවුස් මාස්‌ටර්ගේ නිවසට, ගෙදරට ප්‍රිය කිරීම ගැන ජිනොරිස් පෙරේරා නෝක්‌කාඩු කියන්නට ගියේ නැත. තම පුතා ගවුස් මාස්‌ටර්ගේ ගෝලයකු බව ඔහු කොරලවැල්ලේ කොයි කා සමඟත් කීවේ මහත් ආඩම්බරයෙනි. තම පුතා සති ගණන් ගවුස් මාස්‌ටර් ළඟ සංගීත කටයුතුවලට සහාය වීම ගැන තාත්තා ඊට එරෙහිව කිසිවක් කියන්නට නොගියේ තමන්ගේ කොලුවා දැන් නියම මාර්ගයට වැටී ඇති බව සිතමින් විය යුතුය. පාසල් වැඩ පසෙක ලා ගවුස් මාස්‌ටර්ගේ ගෙදර සංගීත කටයුතුවල තම පුතු කුඩා අමරදේව නියෑළෙන්නේ නම් ජිනෝරිස් වඩු බාස්‌සුන්නැහේ හොඳටම කලබල වී ගවුස් මාස්‌ටර්ගේ නිවස සොයා ඒම සාමාන්‍ය සිරිතයි. ගවුස් මාස්‌ටර්ගේ වාදක මණ්‌ඩලයේ වයලීන් සියල්ල අතගා සුළු සුළු අලුත්වැඩියාවන් ද කරන ජිනෝරිස් බාසුන්නැහේ තම පුතු බැලීමට එනතුරු ගවුස් මාස්‌ටර් ද සිටින්නේ මඟ බලාගෙනය. ඒ ජිනෝරිස් බාස්‌සුන්නැහේ එන විට අනිවාර්යයෙන් ම නොම්බර එකේ සුරුට්‌ටු මිටියක් මාස්‌ටර්ට දීමට ගෙන එන බව දන්නා නිසාය.
කොළඹ ජීවිතය ගත කිරීමට කුඩා අමරදේව තම පියාගෙන් මුදල් ඉල්ලාගෙන ආවා යෑයි ඔබ සිතුවොත් වැරදිය. ජීවත්වීමට සල්ලිවලට වැඩිය කුඩා අමරදේව වඩාත් ප්‍රිය කළේ ගවුස් මාස්‌ටර් සමඟ සංගීත ආශ්‍රයයි. තැටිගත කිරීම්වලදී කිසිදා සල්ලි ඉල්ලන්නට කුඩා අමරදේව ගියේ නැත. එහෙත් ගවුස් මාස්‌ටර්ටම සිතී මුදලක් අතමිට මෙලවීම සාමාන්‍ය සිරිතය. එකල ඒ මුදල බස් ගාස්‌තුත්, කන්න බොන්නත් වැය කොට අතේ කීයක් හරි ඉතුරුකර ගැනීමට තරම් ප්‍රමාණවත් විය. ගවුස් මාස්‌ටර් මියගිය මොහොතේ පුවත්පතකට අමරදේවයන් ප්‍රකාශයක් කොට ඇත්තේ මෙසේය.
ඉස්‌ඉස්‌සෙල්ලාම මට කොලොම්බියා කොම්පැණියෙන් හම්බ වුණේ රු. 80/- ක චෙක් කොලයක්. ගවුස් මාස්‌ටර් තමයි ගෙවිය යුතු මුදල නිර්දේශ කරන්නේ. චෙක් එක මාරු කරගෙන මාස්‌ටර්ව බලන්න මම කුරුල්ලෙක් වගේ ඉගිල්ලිලා යන්න හිතුවා. උඩ සාක්‌කුවේ රුපියල් අසූව දාගෙන ට්‍රෑම්කාර් එකක නැග්ගා මාස්‌ටර්ගෙ ගෙදර යන්න. බහිනකොට සල්ලි පික්‌පොකැට් ගහලා. මේක අහපු ගවුස් මාස්‌ටර් මට සාක්‌කුවෙන් ඇදල අලුත්ම පනහක් දුන්නේ ජීවිතේ ලබපු මුල්ම ආදායම කපුටෝ අරන් ගියා වගේ නේද කියලා මට තාම මතකයි.
මෙරට සිනමාවේ දැවැන්තයකු වූ නායගම් අශෝකමාලා කතාව පාදක කොටගෙන ලංකාවේ ප්‍රථම සිංහල බයිස්‌කෝප් එක කරන්නට අර අදින්නේ මේ අතරය. නායගම් පුවත්පත් දැන්වීමක් පළ කරමින් රු. 500/- ක් තෑගි දෙන බවත්, එය ලැබෙන්නේ හොඳම අශෝකමාලා කතාව ලියූ තැනැත්තාට බව ද ප්‍රසිද්ධ කරන ලදී. ශාන්ති කුමාර් සෙනෙවිරත්න එකල චිත්‍රකලා මුවිටෝන් සමාගමේ හවුල්කරුවකු විය. ඔහු සාලිය අශෝකමාලා තිරරචනයක් ලියා නායගම්ට දුන්නේ එය චිත්‍රපටය සාදන ලෙස ය. නායගම් අශෝකමාලා තිරපිටපත දැක රු. 500/- තෑග්ග ශාන්ති කුමාර්ට දුන්නේය. ඒ කාලේ රු. 500/- ක් යනු විශාල මුදලකි. අශෝකමාලා චිත්‍රපටය කරන්නට යද්දී නායගම් හා ශාන්ති කුමාර් අතර ගැටුමක් ඇති වන්නේ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය තමන්ට නොදී ඉන්දියන්කාරයකුට දීමට ශාන්තිකුමාර් එරෙහි වීම නිසාය. අන්තිමේදී ශාන්ති කුමාර් අශෝකමාලා පිටපතත් රැගෙන එළියට බැස්‌සේ තරහෙන් පුපුරමින් 'නායගම්'ට හොඳ ගේමක් දෙන්න 'කැට තියා' බැණ වැදීමෙන් පසුවය. බොහෝදෙනා 'අශෝකමාලා' චිත්‍රපටයෙන් අමරදේවයන් සිනමාවට පිවිසි බව කීවද මේ ඉතිහාස කතාව දන්නේ නැත.
මෙන්න දැන් ආයෙත් 'අමරදේවයන්'ගේ මුල්ම බයිස්‌කෝප් සංගීත අත්දැකීම වූ අශෝකමාලා බිහි වූ හැටි, කෝපයෙන් සිටි ශාන්ති කුමාර් අන්තිමේ වැටුණේ චිත්තම්පලම් ඒ. ගාඩිනර්ගේ ඔඩොක්‌කුවටය. සිලෝන් තියටර් අධිපතිවරයා වූයේ ඔහුය. මේ කපුකමට මුල් වූයේ පරණ චිත්‍රපට ලේඛකයකු වූ ඩී. වී. සෙනෙවිරත්නය. ඩී.වී. සෙනෙවිරත්න නොසිටින්නට අපට අශෝකමාලාවේ අමරදේව කෙනෙක් ගැන අසන්නට ලැබෙන්නේ නැත. නමුත් මේ වන විට මීගමුවේ මිනර්වා නාට්‍ය කණ්‌ඩායමත්, බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නත් ලහි ලහියේ ඉන්දියාවට ගොස් තිබුණේ නායගම් අත දිගහැර මුදල් විසිකර ලංකාවේ පළමු සිංහල චිත්‍රපටය ලෙස 'කඩවුණු පොරොන්දුව' රූගත කිරීමටය.
අශෝකමාලා නිෂ්පාදනයට ගාඩ්නර් කැමැති වූ නිසා නායගම්ගෙන් පලිගැනීමට ශාන්ති කුමාර් එය හොඳම අවස්‌ථාව ලෙස සිතන්නට විය. නළු නිළියන් සහ සංගීත පිරිස ද සමඟ නඩේ පිටින් ඉන්දියාවට ගොස් ලංකාවේ පළමු සිංහල චිත්‍රපටය බවට අශෝකමාලා පත්කර ගැනීම ශාන්තිකුමාර්ගේ අරමුණ විය.
ශාන්ති කුමාර් අශෝකමාලා හි සංගීත අධ්‍යක්‍ෂණයට තෝරා ගත්තේ ගවුස් මාස්‌ටර් ය. තමාගේ සහායට ඇල්බට් කොලුවා ද රැගෙන යා යුතු බව ගවුස් මාස්‌ටර් චිත්තම්පලම් ඒ. ගාඩිනර්ගෙන් ඉල්ලා සිටියේ මේ අතරය. ඇල්බට් නොහොත් කුඩා අමරදේව යෝජනාවට එකපයින් කැමැති විය. පරහකට තිබුණේ ජිනෝරිස් බාස්‌සුන්නැහේ හැර අනෙක් ගෙදර සියල්ලන් එම යෝජනාවට තදබල ලෙස විරුද්ධ වීමය. අන්තිමේදී කුඩා අමරදේව ඉස්‌කෝලයටත් ගෙදරටත් කොකා පෙන්වා ඉන්දියාවට ගියේ අශෝකමාලා චිත්‍රපටය සඳහාය. ගවුස් මාස්‌ටර්, ශාන්තිකුමාර් ඇතුළු මේ පිරිස ඉන්දියාව බලා ගොස් ඇත්තේ 1946 දී ය.
අමරදේව ඇතුළු පිරිස ගියේ ඉන්දියාවේ කොයිම්බතූර් හි පිහිටි සෙන්ට්‍රල් චිත්‍රාගාරයටය. ශාන්ති කුමාර් තමන්ට රු. 500/-කට විකුණු අශෝකමාලා තිර කතාව ගාඩිනර් විසින් රූගත කරන්නට ඉන්දියාවට පිරිසක් එවූ බව නායගම් දැන ගත්තේ මේ අතරය. කඩවුණු පොරොන්දුව රූගත කළේ ඉන්දියාවේ මධුර චිත්‍රාගාරයේය කඩවුණු පොරොන්දුව සහ අශෝකමාලා තරගෙට රූගත කිරීම නිසා කුඩා අමරදේවට ගවුස් මාස්‌ටර් ළඟින්ම හිඳ සංගීත කොටස්‌වලට උදේ සවස දිගටම වැඩ කරන්නට විය. අශෝකමාලා චිත්‍රපටය සාර්ථක කිරීමට කුඩා අමරදේව ගන්නා උත්සාහය මාස්‌ටර්ගේ සිත් ගත් කරුණක් විය. කුඩා අමරදේව උදේ රැයින් නැගිට රෑ එළිවෙන ජාමය වෙනතුරුත් බයිස්‌කෝප් එක සාර්ථක කර ගන්නට දරනා උත්සාහය මාස්‌ටර් මහත් අගය කළේය. බොහෝ අවස්‌ථාවල තමාගේ නිර්මාණවලටත් වඩා ගෝලයාගේ නිර්මාණ උසස් බව තේරුම්ගත් මාස්‌ටර් ඒවා කෙළින්ම තැටිගත කළේය. කාගේ වුවත් දක්‍ෂකම් අගය කිරීමේ දුර්ලභ උසස් ගුණය ගවුස් මාස්‌ටර් තුළ නොතිබුණේ නම් අමරදේව නමැති චිත්‍රපට සංගීතවේදියා බිහි නොවන්නට බොහෝ ඉඩ තිබුණි. අශෝකමාලා චිත්‍රපටයේ සංගීතය හා ගායනයට අමතරව ඔහු තාපසයකුගේ චරිතයක් ද රඟපෑවේය. අශෝකමාලා ප්‍රදර්ශනයත් සමඟම ඩබ්ලිව්. ඩී. ඇල්බට් නොහොත් අමරදේවට දරා ගත නොහැකි ජනප්‍රියත්වයක් සොයා එන්නට විය. අශෝකමාලා චිත්‍රපටයේ ගීත එකොළහක් ඇතුළු වූ අතර භවේ භීත හැර, ඇයි කළේ යමෙක් ආලේ ආදී ගීත ගායනා අමරදේවයන්ගේ ය.
අශෝකමාලා තිරගත වීමත් සමඟම 1947 අප්‍රේල් 27 වැනිදා සිළුමිණ පත්‍රයේ නිර්දය විවේචනයක් පළ වූයේ මයුරපාද නමිනි. මේ මයුරපාද වෙනින් කවුරුවත් නොව මාර්ටින් වික්‍රමසිංහයෝ ය. අශෝක මාලාවේ රොඩී මිනිසුන් හැර අනික් සියල්ලන් පාන්කඩ එතීමෙන් පුච්චන ලද පන්දම් වැනි යෑයි නිර්දය විවේචනයක් කළ මාර්ටින් වික්‍රමසිංහයන්ගෙන් බේරුණේ ගවුස් මාස්‌ටර්ගේත් ගෝලයාගේත් සංගීතය පමණි.
මේ දක්වා මම මේ ඇතුළත් කලේ ඒ දිවයින පුවත්පතේ පළ වූ ලිපියයි. ඉතින් මේ ගීතය ලියවූ ආකාරය බලමු. චිත්‍රපටියට අදාල ගීත නිර්මාණය වුණේ, කොළඹ බම්බලපිටියේ, ජයා පාරේ, අසෝක උයනේ පිහිටි ශාන්ති කලා නිකේතනයේ දී බොහෝවිට රාත්‍රී කාලයේ. ගවුස් මාස්ටර් තම "ෆුට් බෙලෝ" සර්පිනාව වයමින් පැරණි හින්දි ගීත අසුරින් වචන ගයමින් ස්වතන්ත්‍ර තනු නිර්මාණය කරන අතරේ ඩී.ටී. ප්‍රනාන්දු මහතා එම තනුවට ගැලපෙන ආකාරයෙන් පද මාලාව සකස් කලා. "ශාන්ත මේ රාත්‍රියේ" ගීතය එසේ රචනා වූ පලවෙනි ගීතයයි. රාත්‍රී කාලයේ නිර්මාණය වූ මේ ගීතයට ඒ අවස්ථාවේ පරිසරයේ තිබූ නිසංසල බවත් සෞන්දර්යාත්මක බවත් ඩී.ටී. ප්‍රනාන්දු මහතා එකතුකර තිබෙනවා. ගවුස් මාස්ටර් යොදන්නට යෙදුණේ තමාගේ තනුවට උචිත යැයි හැඟුණු අර්ථ රහිත හෝ සහිත වචන. ඉතින් සිංහලෙන් පද මාලාව ලියද්දී සමහරවිට හින්දි වචනවල ශබ්ද වන ආකාරය බලපෑවා. "ඇයි කලේ යමෙකු ආලේ" ගීතයත් එසේ හින්දි ශබ්දවල ධ්වනිය අනුගතව ලියවූවක්.
අශෝකමාලා චිත්‍රපටිය ගැන සැකෙවින් :
තිරගත වුණ දිනය – 1947 අප්‍රියෙල් 09
නිෂ්පාදනය - ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් (සීමාසහිත සිලෝන් තියටර්ස්)
සම අධ්‍යක්ෂණය - ශාන්ති කුමාර් සෙනෙවිරත්න / ටී. ආර්. ගෝපු
දෙබස් සහ උප අධ්‍යක්ෂණය – මයිකල් සන්නස් ලියනගේ
තිර රචනය / නැටුම් පුහුණුව - ශාන්ති කුමාර් සෙනෙවිරත්න
සංගීත අධ්‍යක්ෂණය - මොහොමඩ් ගවුස්
සංගීත අධ්‍යක්ෂණයට සහය සහ වයලින් වාදනය – ඩබ්. ඩී ඇල්බට් පෙරේරා (ඩබ්. ඩී. අමරදේව)
ගීත පටිගත කිරීම – දකුණු ඉන්දියාවේ කොයිම්බතූර්හි සෙන්ට්‍රල් ට්ත්‍රගාරය
ගීත සංඛ්‍යාව - 10
ගීත ප්‍රබන්ධය – ඩී. ටී. ප්‍රනාන්දු
ගීත හා ගායන ශිල්පීන්
භවේ භීත හැර – ඩබ්. ඩී. ඇල්බට් පෙරේරා
ප්‍රීති ප්‍රීති – භාග්‍යරති සහ පිරිස
හෝ ප්‍රේමේ බැබැලේ - මොහිදීන් බෙග් / භාග්‍යරතී
ශාන්ත මේ රාත්‍රියේ - භාග්‍යරතී
ආලේ මගේ - මොහිදින් බෙග්
ඇයි කරේ යමෙක් ආලේ - ඩබ්. ඩී. ඇල්බට් පෙරේරා
ජලේ මේ දැන් ගීත – භාග්‍යරතී
නයනා වැනි සුදෝ - මොහිදින් බෙග් / භාග්‍යරතී
ආලෝකේ දෙයි – භාග්‍යරතී
සදවු ජය ශ්‍රී - මොහිදින් බෙග්
කැමරාව - ඇම්. මස්තාන්
චිත්‍රාගාරය - සෙන්ට්‍රල් චිත්‍රාගාරය – දකුණු ඉන්දියාව
වැඩ ආරම්භ කළ දිනය – 1946 ඔක්තෝම්බර් 09
රඟපෑම් -
ශාන්ති කුමාර් සෙනෙවිරත්න (සාලිය)
එමලින් දිඹුලාන (අශෝකමාලා)
මයිකල් සන්නස් ලියනගේ් (විපුල සෙනෙවි)
හර්බි සෙනෙවිරත්න (සේන)
දොන් එඩ්වඩ් (රන්කිරා)
ඔස්ටින් අබේසේකර (අභය ඈපා)
මයිකල් රුද්‍රිගූ (දුටුගැමුණු රජ)
මෙහිදීන් බෙග්
ඩබ්. ඩී. ඇල්බට් පෙරේරා (අමරදේව)
ශ්‍රීමතී කරුණාදේවි
සූරියමුත්තු
සුනිල් ප්‍රේමදාස
එන්. එම්. සාදුවර්ධන
නැටුම් - ශාන්ති විරාජ් / මධුර එස්. සුභලක්ෂ්මි
ආදායම – රු: ලක්ෂ 15
චිත්‍රපට ගත කිරීමට ගත වූ කාලය – මාස 06
ප්‍රදර්ශනය - සීමාසහිත සිලෝන් තියටර්ස්
පළමුවර ප්‍රදර්ශනය – 1947. 04. 09 සිට කොළඹ රීගල්, 04/10 සිට ඇල්ෆින්ස්ටන්, 4/11 සිට මැජෙස්ටික්, කැපිටෝල්
මංගල දර්ශනය – රීගල් සිනමා ශාලාවේදී මහමාන්‍ය ඩී. එස්. සේනානායක සහ එම මැතිනියගේ ප්‍රධානත්වයෙන්.
Comments