ශාන්ත මේ රාත්‍රියේ - අශෝකමාලා (1947)
- මාධව විජේසේකර
- May 27, 2017
- 3 min read


හඬ : භාග්‍යාරතී
ශාන්ත මේ රාත්‍රියේ
චන්ද්‍රා කාන්ති දේ ආලෝකේ ... ආයේ ආයේ සිත ප්‍රබෝධ වේ ශාන්ත මේ රාත්‍රියේ ශාන්ත මේ රාත්‍රියේ ආයේ ආයේ සිත ප්‍රබෝධ වේ සිසිල ආවේ ප්‍රීතිය මෝරා යෞවන ප්‍රේමේ සදා ආ ... ආ... කුමුදිනි ... නැංග තරංග සිනා ආයේ ආයේ සිත ප්‍රබෝධ වේ පවන සමග නැලවී නැලවී නින්දේ සිටිය ඕලු මලේ සයනේන පිබිද ආ හා බඹරෝ ... ඇයි බඹරෝ රාත්‍රී ... ආ... කුමුදිනි ... නැංග තරංග සිනා ආයේ ආයේ සිත ප්‍රබෝධ වේ.
1947 දී තිරගත වූ ලංකාවේ දෙවන චිත්‍රපටිය වූ අශෝකමාලා චිත්‍රපටියේ අඩංගු වූ මේ ගීතය පද රචනා කලේ ඩී.ටී. ප්‍රනාන්දු මහතා විසින්. එතුමා මේ චිත්‍රපටිය සඳහා රචනා කල සියළුම ගීත අතිශය ජනප්‍රිය වූවා. මේ චිත්‍රපටිය සඳහා එතුමාව දායක කරගත්ත ආකාරය හරිම අපූරුයි.
ප්‍රනාන්දු මහතා වෘත්තියෙන් ගුරුවරයෙක්. කළුතර ප්‍රදේශයේ ඉපදුණු එතුමා 1945 වනවිට අම්බලන්ගොඩ පටබැඳිමුල්ල පාසලේ මුල්ගුරුතුමා ලෙස කටයුතු කර තිබෙනවා. අද එය අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය ලෙස හැඳින්වෙනවා. මේ පාසලේ සේවය කරන කාලයේ දී එතුමා සිසුන් සමග එක්ව "ශාන්ත ප්‍රභා" යනුවෙන් නාට්‍යයක් කරලා තියෙනවා. මේ නාට්‍යයේ ශාන්ති ලේඛා මහත්මියත් එවකට කළුතර සිරිකුරුස සිසුවියක් ලෙස ඉගෙන ගන්නා කාලයේ දී රඟපා තිබෙනවා. ඇගේ මුල් නම රීටා අයිරින් කුයින් බවත් සඳහන් කල යුතුයි.
ඉතින් මේ නාට්‍යය සඳහා ගෙජ්ජි වගයක් සෙවීම සඳහා ප්‍රනාන්දු මහතා දවසක් යනවා පිටකොටුවේ වේල්ල වීදියට. එක්තරා වෙළඳසැලක දී ගෙජ්ජි මිල දී ගැනීමට පෙර පරීක්ෂා කරනවිට එතුමා දිහා එක්තරා පුද්ගලයෙක් නිරීක්ෂණය කරගෙන ඉන්නවා. ඒ ශාන්ති කුමාර් සෙනෙවිරත්නයන්. එතුමා පරීක්ෂාවෙන් බලා හිඳ ප්‍රනාන්දු මහතාගෙන් අහනවා "ඔබතුමා නැටුම් ගුරුවරයෙක් ද?" කියා.
එයට හේතුව ශාන්ති කුමාර් මහතා නර්තන ශිල්පියෙක් වීම. එතුමා 1916 දී කුරුණෑගල ලියනගිරි වලව්වේ උපත ලබා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් මැට්‍රික් විභාගය දක්වා ඉගෙනගත්තත් ඉන්දියාවෙන් පැමිණි සර්කස් කණ්ඩායමක් පස්සේ වැටිලා ඉන්දියාවට පැනලා ගිහින් භරත, මණිපුරි, කථකලී නර්තන හදාරලා පැමිණිය අයෙක්. එතුමා 1945 දී ලංකාවට පැමිණ තම බිරිඳ පුෂ්පාදේවිය සමග නැටුම් සන්දර්ශන පවත්වනවා. මේවාට සංගීතය සපයන්නේ මොහොමඩ් ගවුස් ශූරීන්.
ඉතින් ටී.ඩී. ප්‍රනාන්දු මහතාගෙන් මේ ප්‍රශ්නය ඇසුවාම එතුමා තමන්ව හඳුන්වා දී තම "ශාන්ත ප්‍රභා" නාට්‍යය නරඹන්නට පැමිණෙන ලෙස ආරාධනා කරනවා. නාට්‍යය නැරඹු පසු ප්‍රනාන්දු මහතා ගැන අතිශය ප්‍රසාදයට පත්වන ශාන්ති කුමාර් මහතා එතුමාව ගවුස් මාස්ටර් ට හඳුන්වා දී තමන් සම අධ්‍යක්ෂණය කල අශෝකමාලා චිත්‍රපටියට ගීත රචනා කිරීම සඳහා යොදාගන්නවා.
චිත්‍රපටියට අදාල ගීත නිර්මාණය වුණේ, කොළඹ බම්බලපිටියේ, ජයා පාරේ, අසෝක උයනේ පිහිටි ශාන්ති කලා නිකේතනයේ දී බොහෝවිට රාත්‍රී කාලයේ. ගවුස් මාස්ටර් තම "ෆුට් බෙලෝ" සර්පිනාව වයමින් පැරණි හින්දි ගීත අසුරින් වචන ගයමින් ස්වතන්ත්‍ර තනු නිර්මාණය කරන අතරේ ප්‍රනාන්දු මහතා එම තනුවට ගැලපෙන ආකාරයෙන් පද මාලාව සකස් කලා. "ශාන්ත මේ රාත්‍රියේ" ගීතය එසේ රචනා වූ පලවෙනි ගීතයයි. රාත්‍රී කාලයේ නිර්මාණය වූ මේ ගීතයට ඒ අවස්ථාවේ පරිසරයේ තිබූ නිසංසල බවත් සෞන්දර්යාත්මක බවත් ඩී.ටී. ප්‍රනාන්දු මහතා එකතුකර තිබෙනවා.
ගවුස් මාස්ටර් යොදන්නට යෙදුණේ තමාගේ තනුවට උචිත යැයි හැඟුණු අර්ථ රහිත හෝ සහිත වචන. ඉතින් සිංහලෙන් පද මාලාව ලියද්දී සමහරවිට හින්දි වචනවල ශබ්ද වන ආකාරය බලපෑවා. මේ චිත්‍රපටියේ අමරදේවයන් ගයමින් රඟන, "ඇයි කලේ යමෙකු ආලේ" ගීතයත් එසේ හින්දි ශබ්දවල ධ්වනිය අනුගතව ලියවූවක්.
අශෝකමාලා චිත්‍රපටිය ගැන සැකෙවින් :
තිරගත වුණ දිනය – 1947 අප්‍රියෙල් 09
නිෂ්පාදනය - ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් (සීමාසහිත සිලෝන් තියටර්ස්)
සම අධ්‍යක්ෂණය - ශාන්ති කුමාර් සෙනෙවිරත්න / ටී. ආර්. ගෝපු
දෙබස් සහ උප අධ්‍යක්ෂණය – මයිකල් සන්නස් ලියනගේ
තිර රචනය / නැටුම් පුහුණුව - ශාන්ති කුමාර් සෙනෙවිරත්න
සංගීත අධ්‍යක්ෂණය - මොහොමඩ් ගවුස්
සංගීත අධ්‍යක්ෂණයට සහය සහ වයලින් වාදනය – ඩබ්. ඩී ඇල්බට් පෙරේරා (ඩබ්. ඩී. අමරදේව)
ගීත පටිගත කිරීම – දකුණු ඉන්දියාවේ කොයිම්බතූර්හි සෙන්ට්‍රල් ට්ත්‍රගාරය
ගීත සංඛ්‍යාව - 10
ගීත ප්‍රබන්ධය – ඩී. ටී. ප්‍රනාන්දු
ගීත හා ගායන ශිල්පීන්
භවේ භීත හැර – ඩබ්. ඩී. ඇල්බට් පෙරේරා
ප්‍රීති ප්‍රීති – භාග්‍යරති සහ පිරිස
හෝ ප්‍රේමේ බැබැලේ - මොහිදීන් බෙග් / භාග්‍යරතී
ශාන්ත මේ රාත්‍රියේ - භාග්‍යරතී
ආලේ මගේ - මොහිදින් බෙග්
ඇයි කරේ යමෙක් ආලේ - ඩබ්. ඩී. ඇල්බට් පෙරේරා
ජලේ මේ දැන් ගීත – භාග්‍යරතී
නයනා වැනි සුදෝ - මොහිදින් බෙග් / භාග්‍යරතී
ආලෝකේ දෙයි – භාග්‍යරතී
සදවු ජය ශ්‍රී - මොහිදින් බෙග්
කැමරාව - ඇම්. මස්තාන්
චිත්‍රාගාරය - සෙන්ට්‍රල් චිත්‍රාගාරය – දකුණු ඉන්දියාව
වැඩ ආරම්භ කළ දිනය – 1946 ඔක්තෝම්බර් 09
රඟපෑම් -
ශාන්ති කුමාර් සෙනෙවිරත්න (සාලිය)
එමලින් දිඹුලාන (අශෝකමාලා)
මයිකල් සන්නස් ලියනගේ් (විපුල සෙනෙවි)
හර්බි සෙනෙවිරත්න (සේන)
දොන් එඩ්වඩ් (රන්කිරා)
ඔස්ටින් අබේසේකර (අභය ඈපා)
මයිකල් රුද්‍රිගූ (දුටුගැමුණු රජ)
මෙහිදීන් බෙග්
ඩබ්. ඩී. ඇල්බට් පෙරේරා (අමරදේව)
ශ්‍රීමතී කරුණාදේවි
සූරියමුත්තු
සුනිල් ප්‍රේමදාස
එන්. එම්. සාදුවර්ධන
නැටුම් - ශාන්ති විරාජ් / මධුර එස්. සුභලක්ෂ්මි
ආදායම – රු: ලක්ෂ 15
චිත්‍රපට ගත කිරීමට ගත වූ කාලය – මාස 06
ප්‍රදර්ශනය - සීමාසහිත සිලෝන් තියටර්ස්
පළමුවර ප්‍රදර්ශනය – 1947. 04. 09 සිට කොළඹ රීගල්, 04/10 සිට ඇල්ෆින්ස්ටන්, 4/11 සිට මැජෙස්ටික්, කැපිටෝල්
මංගල දර්ශනය – රීගල් සිනමා ශාලාවේදී මහමාන්‍ය ඩී. එස්. සේනානායක සහ එම මැතිනියගේ ප්‍රධානත්වයෙන්.
Commentaires