top of page
Search

සිරියා මෙ සාරා - සුරතලී (1958)

  • මාධව විජේසේකර
  • May 26, 2017
  • 4 min read

හඬ : එච්. ආර්. ජෝතිපාල

තනුව : ටී. ආර්. පාපා

පද : ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා

සිරියා මෙ සාරා නැගේවි හද මෝරා දී ප්‍රේමේ අමධාරා හෝ ප්‍රේමේ අමධාරා ප්‍රේමේ නුරා ගීත රාවේ නැගෙන්නා මේ පෙම් මල් පිපීලා මා හර්දේ පිරෙන්නා හෝ... දින රාජයා ඈත අහසේ දිලෙන්නා දී ප්‍රේමේ අමධාරා හෝ ප්‍රේමේ අමධාරා ගංගා පිරීලා‍ ඉතිරී ගලන්නා ආලේ රසේ මා හදේහි නැගෙන්නා හෝ..

මේ ගීතය අපි කවුරුත් එදා ඉඳන්ම ආදරය කරපු ගීතයක්. ලොකු කුඩා කාටත් කටපාඩම් වුණ, විනෝද වෙන අවස්ථාවකදී වුණත් නිරායාසයෙන් ම මුවගට නැගෙන මේ ගීතය එච්. ආර්. ජෝතිපාලයන් මුල්වරට සිනමාවට හඳුන්වාදුන් ගීතය බව ඔබ දැන සිටියා ද? නමුත් මේ ගීතය සුරතලී චිත්‍රපටියෙන් ඉවත්කරන්නට ගිය බවත් චිත්‍රපටි අධ්‍යක්ෂ සිරිල් පී. අබේරත්නයන් දැඩි ස්ථාවරයක ඉඳගෙන මේ ගීතය චිත්‍රපටියට ඇතුළත් කලබවත් ඒ නිසාම ජෝතිපාල කෙනෙක් අපිට උරුමවුණ බවත් ඔබ දැන සිටියා ද? බලමු මේ කතාව. මේ කතාව හම්බවුණේ අර්නස්ට් වඩුගේ මහතා රචනා කල අමරණී‍ය ජෝති යන කෘතියෙන්.


එච්. ආර්. ජෝතිපාලයන් ඒ වෙනකොට චිත්‍රපටි තුනක් එනම් පොඩිපුතා, මතභේදය සහ පෙරකදෝරු බෑණා යන චිත්‍රපටි තුනේම අවස්ථා ලැබුණත් යම් යම් හේතුන් මත ගිලීහී ගියා. ඉතාමත් කළකිරීමෙන් හිටපු ජෝතිපාලයන් ලිබර්ටි සිනමාහල වෙතට යනවා සිරිල් පී. අබේරත්නයන් හමුවන්නට. එතුමා යන්නේ ස්ටැන්ලි ඕමාර් සහ එම්. පී. ගැමුණු යන කලාකරුවන් දෙපල සමගයි. අබේරත්නයන් ජෝතිපාලයන් එතෙක් ගයා තිබූ ගී තැටි අසා "මම හුඟක් ම කැමතියි අළුත් අයට අත දෙන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා හෙට ම එන්න" කියා කියනවා. ඒ වෙලාවේ තමයි ජෝතිපාලයන්ට දැනුණේ, තමන්ට සිනමාවේ දොරටු විවර වුණා කියලා. එතුමා ව තෝරාගන්නේ චිත්‍රපටියේ නළු ආනන්ද ජයරත්නයන්ගේ පසුබිම් හඬට. ඉතින් සිරිල් පී. අබේරත්නයන්ට පුදුම ඉවක් තිබුණා ද කියලා හිතෙනවා ජෝතිපාලයන් ගැන එවන් සිනමාවේ ආරම්භක යුගයේ මෙවැනි තෝරාගැනීමක් බය නැතුව කරන්න.


ඉතින් ජෝතිපාලයන් කැටුව මේ පිරිස ඉන්දියාවේ මදුරාසියේ වාහිනී චිත්‍රාගාරය වෙත යනවා මුලින්ම ගීත පටිගත කරන්න. මීට එකතුවෙනවා ධර්මදාස වල්පොල, ජී. එස්. බී. රාණි පෙරේරා, ස්වර්ණා අබේරත්න (සිරිල් පී. අබේරත්න මහතාගේ දියණිය), අබේරත්න මහතාගේ බිරිඳ සහ පුතාත්. හැබැයි චිත්‍රපටියේ මේ ගීතය පටිගත කරන විටත් නැවතත් ප්‍රශ්නයක් ජෝතිපාලයන්ට පැන නගිනවා. එයට හේතුව ඒ චිත්‍රපටියේම එන ප්‍රේමේ මෝරන කාලේ - ජී. එස්. බී. රාණි පෙරේරා / ධර්මදාස වල්පොල ගීතයට ජෝතිපාලයන්ගේ පොඩි කොටසක් ගයන්න තියෙනවා. ඒ කොටස ඇහුවායින් පස්සේ, චිත්‍රපටියේ කාර්මික අධ්‍යක්ෂ වූ ඉන්දීය ජාතික කේ. වෙම්බු නමැත්තා "අපෝ මෙයාට Screen Voice එකක් නැහැ. මෙයාව ගන්න එපා ෆිල්ම් එකට. එහෙම වුණොත් ෆිල්ම් එක සවුත්තු වෙනවා" යනුවෙන් පවසනවා.


දැන් අබේරත්න මහතා කල්පනා කරනවා මොකද කරන්නේ? අළුත් ගායකයෙක් ව තමුන් එක්කගෙන ආවා. මේ අතරේ මානසිකව වැටුණු ජෝතිපාලයන් අබේරත්න මහතාගේ දියණිය වූ ස්වර්ණා අබේරත්නයන්ට සහ පුතණුවන්ට ඉතාමත් හැඬූ කඳුලෙන් කියා සිටිනවා "අයියෝ බබා. මට ආපහු ලංකාවට යන්න බැහැ. කොල්ලෝ මට ගල් ගහලා මරා දමාවි. මම බදුලු කෝච්චියට ගිහින් 'ටකස්' වෙනවා" යනුවෙන්. ඉතාමත් දුක හිතුණු ස්වර්ණා දියණිය තම මවට අබේරත්න මැතිණියට මේ ගැන පවසනවා. අවසානයේ දී අබේරත්න මහත්මිය තම සැමියාට පවසනවා, "වෙම්බු නෙමෙයි ලංකාවට යන්නේ. ඔයයි ෆිල්ම් එක අරගෙන ආපහු ලංකාවට යන්නේ. ඔයා වෙම්බුට අවනත වෙන්න එපා. එහෙම වුණොත් ඔයාට ජීවිතයකට ත් වග කියන්න වෙයි. ඒ නිසා ඔය ළමයව නිකම්ම යවන්න එපා. ගීත දෙකක්වත් දෙන්න" කියා. සාමාන්‍යයෙන් අබේරත්න මහතා තම බිරිඳට ගරු කරන කෙනෙක්. ඒ නිසා ම තමන්ගේ දැඩි ස්ථාවරය තබාගෙන කාර්මික අධ්‍යක්ෂකට යටත් නොවී අබේරත්නයන් චිත්‍රපටියේ මේ ගීතය සමග ගීත 4ක්ම ජෝතිපාලයන්ට ලබාදෙනවා.


ඉතින් මේ ගීතය චිත්‍රපටියට පෙර තැටිගත කරලා ගුවන්විදුලියෙන් ප්‍රචාරය වූ නිසාම ජෝතිපාලයන්ගේ හඬ ශ්‍රාවක අවධානයට යොමු වී තිබුණා. ඒ කාලයේ අද වගේ නෙමෙයි. චිත්‍රපටියට පෙර එහි ගීත ගුවන්විදුලියෙන් ප්‍රචාරය වෙනවා. ගීත පොත් පවා නිකුත් වෙනවා. ප්‍රේක්ෂක අවධානය ඒවාට යොමුකරලා තමයි චිත්‍රපටිය ප්‍රදර්ශනය කරන්නේ. එතකොට සිංදු හොඳ නම් ෆිල්ම් එක නැගලා යනවා. අද වගේ රූපවාහිනිය, අන්තර්ජාලය, Facebook, YouTube නැති එවන් යුගයක චිත්‍රපටියක් Promote කලේ ඔය විදියටයි. ගුවන්විදුලිය ඒ සඳහා මහඟු මෙහෙවරක් කලා. ගී තැටි සමාගමුත් ඒ සඳහා උදව් කලා. ඉතින් මේ ගීතයත් HMV (His Masters Voice) WN586 අංක දරණ ගීත තැටියේ (LP Record) තැටිගත වෙලා තියෙනවා. ස්වාධීන රූපවාහිනි‍යේ විකාශය වූ සංහිඳ රූපවාහිනි වැඩසටහනේ සිරිල් පී. අබේරත්නයන් වෙනුවෙන් කල වැඩසටහනෙන් තමා මේ කාරණා හොයාගත්තේ. එදා එම වැඩසටහනට ජෝතිපාලයන්ගේ සිදුවීම ගැන අබේරත්න දියණිය, ස්වර්ණා අබේරත්න මහත්මිය ජීවමාන සාක්ෂියක් සපයමින් කියා සිටියා. මීට අමතරව වඩුගේ මහතාගේ, අමරණී‍ය ජෝති කෘතියේ ත් මේ සිදුවීම සඳහන් ව තිබෙනවා.


ඉතින් පොදුජන ගායකයා ලෙස විරුදාවලිය ලත් ජෝතිපාලයන්ට ඒ තත්ත්වෙට පත්වෙන්න සිරිල් පී. අබේරත්න මහතා ඇතුළු පවුලේ සැම කරපු උදව්ව ගැන අපි කවුරුත් දැනගත යුතුයි. ඔවුන්ට ගරු කල යුතුයි.


සුරතලී චිත්‍රපටිය ගැන සැකෙවින් :

  • තිරගත වූ දිනය – 1958 සැප්තැම්බර් 19

  • නිෂ්පාදනය – ජබීර් ඒ. කාදර්

  • කතාව හා දෙබස්, තිර නාටකය, අධ්‍යක්ෂණය - සිරිල් පී. අබේරත්න

  • කාර්මික අධ්‍යක්ෂණය - කේ. වෙම්බු (ඉන්දීය ජාතික)

  • නැටුම් - ශේෂා පලිහක්කාර සහ පිරිස

  • සංගීත අධ්‍යක්ෂණය – ටී. ආර්. පාපා (ඉන්දීය ජාතික)

  • ගීත ප්‍රබන්ධය – ඩබ්ලිව්. විල්ෆ්‍රඩ් සිල්වා

  • ගීත පටිගත කිරීම – වාහිනී චිත්‍රගාරය (මදුරාසිය)

  • ගීත සංඛ්‍යාව - 12

ගීත හා ගායන ශිල්පීන්

  • උදා වේවි හිරු දෙවි – ධර්මදාස වල්පොල

  • දැවුණා ප්‍රේම ගිනි ජාලේ - ස්වර්ණා අබේරත්න

  • සීත ජලේ මේ නාමු ගිලී – ජී. එස්. බී. රාණි පෙරේරා සහ පිරිස

  • ප්‍රේමේ මෝරන කාලේ - ජී. එස්. බී. රාණි පෙරේරා / ධර්මදාස වල්පොල

  • සාදු ශ්‍රී මොලෝහි පතුරා - ධර්මදාස වල්පොල

  • ගී දේවි ශ්‍රී සරසවි – ධර්මදාස වල්පොල / ජී. එස්. බී. රාණි පෙරේරා

  • පුදුමයෙකි ලෝකේ – ධර්මදාස වල්පොල / ජී. එස්. බී. රාණි / ස්වර්ණා අබේරත්න / එච්. ආර්. ජෝතිපාල

  • පිටිසරෙහි අගේ – ධර්මදාස වල්පොල

  • සිරියාමේ සාරා - එච්. ආර්. ජෝතිපාල

  • පෙම් ගී ගයා විනෝදේ – ජී. එස්. බී. රාණි පෙරේරා

  • සංගීතේ රසේ වෙලී – ධර්මදාස වල්පොල

  • ආ ලෝකේ දේය මා හදේ - ස්වර්ණා අබේරත්න / එච්. ආර්. ජෝතිපාල

  • ග්‍රැමෆෝන් ගී තැටි – හිස් මාස්ටර් වොයිස් තැටි අංක ඩබ්ලිව්. එන්. 581 සිට 586 දක්වා

නළු නිළි පිරිස

  • රවීන්ද්‍ර රූපසේන

  • ආනන්ද ජයරත්න

  • ආනන්ද වීරකෝන්

  • එල්. එම්. පෙරේරා

  • සැම්සන් දිසානායක

  • ඇලෝයි විජේරත්න

  • ලීනා ද සිල්වා

  • නිමලා අතපත්තු

  • රෝහිනි ජයකොඩි

  • ලිලියන් එදිරිසිංහ

  • ප්‍රෙමිලා කුරුප්පු

  • එමලින් ශ්‍රියාලතා

  • ප්‍රදර්ශනය - සීමාසහිත සිලෝන් එන්ටර්ටේන්මන්ට් සමාගම.

  • මංගල දර්ශනය – 1956 සැප්තැම්බර් 12 කොල්ලුපිටියේ ලිබර්ටි සිනමා ශාලාවේදී එවකට අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා සහ එම මැතිනියගේ ප්‍රධානත්වයෙන් සහ රඟපෑ සියළුම නළු නිළියන්ගේ සහභාගිත්වයෙන්.

  • විශේෂ – පසුව ජනප්‍රියම චිත්‍රපට පසුබිම් ගායකයකු වූ එච්. ආර්. ජෝතිපාලයන්ගේ කුළුඳුල් චිත්‍රපට පසුබිම් ගැයුම සහ ලීනා ද සිල්වා පළමුවරට ප්‍රධාන චරිතයක් නිරූපණය කිරීම.

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page