top of page
Search

බිළිඳා නැළවේ උකුලේ

  • මාධව විජේසේකර
  • May 26, 2017
  • 3 min read

හඬ සහ තනුව : සී. ටී. ප්‍රනාන්දු

පද : එල්. ආර්. එන්. එච්. පෙරේරා

මේ ලෝකයේ... රසේ...

මුහුණේ ඔබේ... බිළිඳු... පුතේ මගේ

බිළිඳා නැළවේ උකුලේ

හිනැහේ මලසේ උකුලේ

මවගේ සෙනෙහේ පැතිරේ

රුහිරේ කිරි වී ඉතිරේ

දෝත නගා මොළවා සුර ලාලනියෝ එලවා

ගීත අසා මවගේ නොදොඩා නොහඬා හිනැහේ

පාද ගසා නටලා බිළිඳා මතුවේ මිනිසා

ලෝ දහමේ නගිනා බසිනා දුක සැප අතරේ වසනා

සැමදෙනා කැඳවා පොදු ආදරයේ රඳවා

මූණ බලා සැමගේ නොදොඩා නොහඬා හිනැහේ

ජීවිතයේ සිහිනේ සැනසීම තිබේ මුහුණේ

මෑණි පියා දෙදෙනා බඳිනා නිවසේ පහනයි බිළිඳා

මේ ගීතය ගායනය කරන සිරිල් ටියුඩර් ප්‍රනාන්දු එහෙම නැත්තන් අපි කවුරුත් දන්නා විදියට සි.ටී. ප්‍රනාන්දු මහතා ඉපදුණේ, 1921 ජනවාරි 28 දා මොරටුවේ කඩලානේ. නමුත් එතුමා පාසල් ගිහින් තියෙන්නේ නාවලපිටියේ ශාන්ත මරියා විද්‍යාලයට. එහිදී පල්ලියේ කාන්තාරු කණ්ඩායම් ගායනයට (Church Choir) එකතු වීම නිසා එතුමාගේ කලාවට ඇති ඇල්ම වැඩි දියුණු වුණා.


1946 දී ලංකා ගුවන් විදුලියට ගායකයෙක් ලෙස පරීක්ෂණයට පෙනී සිටියත්, පරීක්ෂක මණ්ඩලයේ සිටි තුන් දෙනාගෙන් දෙදෙනෙක් එතුමාට ශාස්ත්‍රීය ගායනාවන් බැහැයි කියා අසමත් කරන්නට සූදානම් වූවත්, පරීක්ෂක මණ්ඩලයේ සිටි සුනිල් සාන්තයන් "මෙයාට ශාස්ත්‍රීය ගායනාවන් බැහැ කියලා මම අසමත් කරන්නේ නැහැ. මෙයාට හොඳ හඬක් තියෙනවා. හරියට ගායනා කරනවා. ඒ නිසාම මම අනුමත කරනවා" කියූ නිසා ම එතුමාව ගුවන්විදුලියේ ගායකයෙක් ලෙස ලියාපදිංචි වෙනවා. මේ සිදුවීමට හේතුවුණේ, එවකට ගුවන්විදුලියේ පැවති ශාස්ත්‍රීය ගීත සම්ප්‍රදායට නැඹුරු වීම තිබිම නිසයි. සිංහල සිනමාවේ ප්‍රභවයත් සමඟ දක්‌ෂිණ භාරතීය හා උත්තර භාරතීය අනුකාරක ගීත සම්ප්‍රදායයක්‌ ද එවක බිහි වී තිබිම සහ බටහිර සංගීතය යනු හුදු බයිලාව යෑයි සමාජගත ව පැවැති දුර්මතයත් එයට හේතූන් වී තිබුණා. මේ සම්ප්‍රදාය උඩුයටිකුරු කරන්නට හැකිවුණෙත් සී. ටී. ප්‍රනාන්දු මහතා විසින්.


සී. ටී. ප්‍රනාන්දු මහතා ගුවන් විදුලි ගායකයකු ලෙස ගැයූ පළමු ගීය 1946 දී ගැයූ "සවස්‌ කල ඇලේ හමන මඳ නලේ" නම් වූ බව මහාචාර්ය සුනිල් ආරියරත්න පවසනවා. එහෙත් ඔහුට ජනප්‍රියතාව ගෙන ඒමට සමත් වූයේ ඒ වසරේ දීම සූරිය රාණී සමඟ ගැයූ 'පින් සිදු වන්නේ අනේ බාල ළමුන්නේ' ගීය යි. ඒ ගීය රචනා කරන ලද්දේ සී. ටී. වෙනුවෙන් පමණක්‌ ගී ලියූ එල්. ආර්. එන්. එච්. පෙරේරා මහතා විසින්.


වෘත්තියෙන් පාසල් ගුරුවරයකු වූ පෙරේරා මහතා සී. ටී. මහතාගේ සමීප ඥාතියෙක්. එතුමා සුප්‍රකට ජේන් අයර් නවකතාව සිංහලයට පරිවර්තනය කල පරිවර්තකයා ද වෙනවා. ඉතින් මේ පෙරේරා මහතා සොබාදහමට ඉතා ආදරය කල අයෙක්.


මේ බිළිඳා නැළවේ ගීතයේ හරිම අපූරු කතාවක් තියෙනවා. මෙහි ආරම්භයේ තියෙනවා කුඩා දරුවෙක් හඬන ශබ්දයක් ඔබට ඇහෙනවා. මේ පෙරේරා මහතා ඒ දිනවල සී.ටී. මහතාගේ මේ ගීතය පටිගත කිරීම සඳහා කටයුතු කරනවා. මෙයට දරුවෙක් අඬන ශබ්දය ඇතුළත් කරන්න එතුමාට අවශ්‍ය වෙලා තිබුණා. ඉතින් දවසක් එතුමා කෙටි විවේකයකට ලංකාගුවන් විදුලියේ සිට තමන්ගේ පාගොඩ පිහිටි නිවසට පැමිණි පසු පාරේ ඒ අවස්ථාවේ කිරි විකුණන පුද්ගලයෙක් ගිහින් තියෙනවා. එවිටම පෙරේරා මහත්මයාගේ සිඟිති දියණියක් හඬා තිබෙනවා. ඒ හඬ ඇසුණු කිරිකාරයාත් බිළිඳු හඬ අනුකරණය කරමින් "ඔහෑ...." යනුවෙන් හඬා තිබෙනවා. ඒ ඇසුණු වහාම පෙරේරා මහතා, "තව ගෙවල් කිහිපයකට කිරි විකුණන්නට තියෙනවාද? ඉක්මනට ගිහින් එන්න. මාත් එක්ක Radio Ceylon එකට යන්න තියෙනවා" යනුවෙන් පවසා ඔහුව රැගෙන ගොස් බිළිඳු හඬ පටිගත කරගෙන තියෙනවා. පසුකාලීනව මේ පුද්ගලයාට ගුවන් විදුලියේ ළමා වැඩසටහන් වල විවිධ හඬ අනුකරණයේ යෙදෙන්නට අවස්ථාව ලැබී තිබෙනවා. "පෙත්තප්පු" යන අන්වර්ථ නාමයක් මේ පුද්ගලයාට පසු කාලීනව ලැබෙනවා. පෙරේරා මහතා පසුකාලීනව මේ පුද්ගලයාට රැකියාවක් පවා ලබා දී තිබෙනවා.


එසේම "සවස්‌ කල ඇලේ හමන මඳ නලේ" ගීතය පෙරේරා මහතා පාරු පදින ජනතාව දිහා බලා හොඳින් ඔවුන්ගේ ජීවිත අධ්‍යයනය කර ලියවුණු ගීතයක්. එතුමා මේ ගීතය රචනා කරන අතරවාරයේම සී.ටී. ප්‍රනාන්දු මහතාට "මේ ගීතය පටිගත කරන්න යන්නේ දැන් ම එන්න" යනුවෙන් පණිවිඩයක් යවා ගෙන්වා ගෙන එවේලේම පටිගත කරවා තිබෙන්නේ.


සිංහල ගීය අන්තර් ජාතිකයට ගෙන ගිය දේශාටකයෙක් තමා සී. ටී. ප්‍රනාන්දු මහතා. 1952 දී එංගලන්තයේ වින්ඩ්සර් මාලිගයේ පැවැති එළිසබෙත් රැජිනිය ගේ මෞලි මංගල්‍යයේ දී ගීත ගැයූ සිංහල ගායකයා වූයේද සී. ටී. බව බොහෝ දෙනා නොදන්න කාරණයක්. අනිත් එක විදේශයක දී ප්‍රසංගයක් පැවැත්වූ ප්‍රථම ලාංකික ගායකයා ද වන්නේ සී. ටී. ප්‍රනාන්දු මහතායි. 1967/68 වකවානුවේ එංගලන්තය, ඇමරිකාව, ස්විට්සර්ලන්තය ඇතුළු රටවල් රැසක එතුමා සාර්ථක ප්‍රසංග පවත්වා තිබෙනවා.


එතුමා මියගියේ 1977 ඔක්තෝබර් 17 වනදා. එතුමාගේ එකම පුත් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ද තම පියාගේ ගී උරුමය අද අරගෙන යන එකත් සතුටට කාරණයක්.


මේ තොරතුරු හොයා ගත්තේ, ස්වාධීන රූපවාහිනියේ සංහිඳ වැඩසටහන් පෙළගැස්මේ, සී. ටී. ප්‍රනාන්දු මහතා ගැන නිෂ්පාදනය කල වැඩසටහනින්. එල්. ආර්. එන්. එම්. පෙරේරා මහතාගේ පුත් ලියනගේ ඇන්ටන් පෙරේරා මහතා තමයි තමන්ගේ පියාගේ මතකය ආවර්ජනය කලේ.

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page