පින් සිදුවෙන්නේ අනේ බාල ළමුන්නේ
- මාධව විජේසේකර
- May 26, 2017
- 1 min read

පද : එල්. ආර්. එන්. එච්. පෙරේරා
සහාය හඬ : සූරියා රාණි
පින් සිදුවෙන්නේ
අනේ බාල ළමුන්නේ මගේ කුඩා නිවස කඩා බිම නොදමන්නේ
වනේ පුරා සොයා ගොසින් කෝටු කඩාලා කුඩා කුඩා කැබලි තුඩින් මෙහි ගෙනවිල්ලා ගසේ මුදුන් අත්ත උඩින් කෝටු තබාලා උදේ පටන් දවස පුරා කූඩු තනාලා
පින් සිදුවෙන්නේ...
කොළේ කොළේ දමා කුඩා නිවස වසන්නේ මගේ දයා බිරිඳ නිතර එය සරසන්නේ වනේ ගසේ පුලුන් දමා යහන සදන්නේ අගේ මටයි ළදරුවනේ එය නොකඩන්නේ
පින් සිදුවෙන්නේ...
දෙමාපියන් සෙනේ වෙතේ තම දරුවන්ටා ළමා ඔබෙන් අපට නැතේ මිහිපිට හිංසා කමා වෙලා මෙ අප වෙතේ දිවි රැකගන්ටා සමා යදිම් දෙන්න පුතේ මෙතන රඳන්ටා
පින් සිදුවෙන්නේ...
මේ ගීතය රචනා කල එල්. ආර්. එන්. එච්. පෙරේරා මහතා සොබාදහමට විශේෂයන් ම ආදරය කල අයෙක්. එතුමා පාන්දරම නැගිටලා කුරුල්ලන්ගේ හඬට ඇහුම්කන් දෙන්න ඉතා කැමති පුද්ගලයෙක්. එතුමා දැකලා තියෙනවා කුඩා ළමයි මේ අහිංසක කුරුල්ලන්ගේ කූඩු කැටපෝලවලින් ගල් ගහලා කඩලා දානවා. ඉතින් මේ දිහා සංවේදීව බලපු පෙරේරා මහතා මේ ගීතය මගින් අපි සමාජයට පණිවිඩයක් දෙමු යැයි තම ඥාති සහෝදර සී. ටී. ප්‍රනාන්දු මහතාට යෝජනා කරනවා. ඒ අනුව තමයි මේ ගීතය රචනා වෙන්නේ.
1946 දී මේ ගීතය නිර්මාණය වෙන්නේ. මේ ගීතය මුලින් ම සී.ටී. ප්‍රනාන්දු මහතා සමග ගයන්නේ සූරියා රාණි නම් ගායිකාවයි. අදටත් පාසල් වල 4 ශ්‍රේණියේ සිංහල පෙළ පොතේ මේ ගීතය පාඩමක් ලෙස ඇතුළත් වෙලා තියෙනවා. අපි පාසල් යන කාලයේත් මේ ගීතය 4 ශ්‍රේණියේ සිංහල පෙළ පොතේ තිබුණා මතකයි. සී. ටී. මහතා ඉතාමත් ජනප්‍රිය වූයේ මේ ගීතයෙන්.