වැලිතල අතරේ - මහ බෝ වන්නම
- මාධව විජේසේකර
- May 22, 2017
- 2 min read


වැලිතල අතරේ හෙමිහිට බසිනා නේරංජන නදියේ ගයා හිස වැඩ සිට බුදු වුණු දා තිලෝහිමි මොක් සුව ලද මොහොතේ - සමාධී භාවනා
හිම කඳුවැටියේ සීතල හෙවනේ චන්දන තරු පීරා හැපී එන මල් මුවරද රසිනේ සුවඳ මුසු කෝමළ මඳ පවනේ - ගැටීලා පාවෙනා
සත්සර නඟලා - ටික ටික සෙලවී සිරිමා බෝ හිමිගේ - මනෝහර - පලූපත් අතු රිකිලී නටා ගිය - තාලයෙහි රස නැඟුණා - සරාගී ජීවනා
සඟමිත් මෙහෙණී දකුණේ ශාඛා සිරිලක ගෙන ආ දා - සිට ම තව - මහ මෙවුනා උයනේ නටයි කොළ වන්නම ලෙස මහ බෝ - සුමීරී නාදෙනා
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් වැඩිකාලයක් එකල ගත කලේ කොළඹ කොටුවේ පිහිටි ටයිම්ස් මන්දිරයේ. එවකට කොළඹ පිහිටි උසම ගොඩනැගිල්ල එයයි. 1947 ලංකාදීප පුවත්පතේ ආරම්භය සනිටුහන් වෙන්නෙත් මේ මන්දිරයේ. ලංකාදීප පුවත්පත ආරම්භ කරන නැකත පවා සාදන්නේ මානවසිංහයන්මයි.
ඉතින් ලංකාදීපයේ සේවය කරන කාලයේ දිනක් තම කාර්යාලය පිහිටි ටයිම්ස් මන්දිරයේ ඉහල මාලයේ කවුළුවෙන් එපිට බැලුවා. ටයිම්ස් මන්දිරයේ ඉදිරියෙන් පිහිටි බෝධීන් වහන්සේ නමක් එවකට වැඩසිටි සිටි අතර ඒ බෝධීන් වහන්සේගේ බෝ පත් සුළඟට සෙලවෙන නාදයට දෙසවන යොමුකල විට නිරායාසයෙන් ම එතුමාට මතක්වූයේ දඹදිව ගයා ශීර්ෂයේ එදා සිදුහත් කුමරුට බුදුවීමට සෙවණ දුන් ජය ශ්‍රී මහා බෝධියේ බෝ පත් සෙලවෙන්නට ඇත්තේ ද මෙලෙසින් කියායි. එය වන්නම් තාලයක් දැයි එතුමාට සිතෙනවා. මුවගට වන්නම් තාලයක් ද මතක් වෙනවා. තන තන තනෙනා - තම්දන තනෙනා. ඒ තාලයට මේ ගීතය එතුමා අතින් ලියවෙනවා.
එය වන්නම් 18ට පසු 19 වන වන්නමක් එකතු කරන්නට සමත් වුණ බවයි බොහෝ විචාරකයින්ගේ අදහස.
මේ ගීතය පිළිබඳව මහගමසේකරයන් වරෙක මෙසේ පවසා තිබෙනවා.
‘ශී‍්‍ර චන්ද්‍රරත්න මානවසිංහගෙන් ගීතයේ දියුණුවට විශාල සේවයක් සැලසුණා. ගුවන් විදුලියේ ගීත නාටක නිර්මාණය කළේ මොහුයි. ස්වභාව සෞන්දර්ය වර්ණනා කිරීමටත් ජාතිකානුරාගය වඩවන ගීත රචනා කිරීමටත් ඔහු විශේෂ දස්කමක් පෙන්වා තියෙනවා. මහ බෝ වන්නම මානවසිංහගේ හොඳම ගීතය කියල මම හිතනවා. මේ ගීතය ඇහෙන කොට ශාන්ත රසය මිශ‍්‍ර නිරාමිස පී‍්‍රතියකුයි අපට ඇති වන්නේ. මානවසිංහගේ රචනා ශෛලියටත් මේ ගීතය හොඳ උදාහරණයක්. මේක තතන තතනා අයාසයෙන් ගැට ගහපු ප‍්‍රබන්ධයක් නොව නිරායාසයෙන් හදින් උතුරා එන උදාන ගීතයක් වගෙයි අපට ඇසෙන්නෙ.’
Comments