top of page
Search

රෑ පැල් රකින

  • මාධව විජේසේකර
  • May 22, 2017
  • 2 min read

හඬ : අබේවර්ධන බාලසූරිය

සහාය හඬ : ත්‍යාගා එන්. එඩ්වඩ්

පද : ආචාර්ය අජන්තා රණසිංහ

තනුව : සරත් දසනායක

රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ

මගෙ තනි නොතනියට නුඹවත් නැතුවානේ හෙට දින නුඹත් දීගෙක ගිය පසු නෑනේ මාසේ පෝය දා ‍වාගෙයි ගම්මානේ එගොඩහ ගොඩේ ඉස්මත්තෙදි දුටුවාට ඇළ කණ්ඩියේ ඉදගෙන අත වැනුවාට මගෙ හිතු මනාපෙට මං බහ දුන්නාට නාඩන් මස්සිනේ පෙර පින් නැතුවාට හැදුවේ ගෙපැල මට තනියෙන් හිඳීන්නද බාලේ ඉදන් බැදි ආලේ බිඳින්නද රෑ තුන්යමේ මේ හැටි දුක් ගෙවන්නද සිහිනෙන් මිසක හැබැහින් එක් නොවන්නද නෑනා නැතත් කල දවසක් ගෙවෙන්නයි සිටු කුමරියක් කරකාරෙට ලැබෙන්නයි පත්තිනි ගම්බාර දෙවියන් රකින්නයි කුරහන් කපන දා මා සිහිකරයි


මේ ගීතයට පාදක වෙලා තියෙන්නේ ඇත්ත කතාවක්. ඒ අත්දැකීමට මුහුණ දුන්නේ ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ ගම් ප්‍රදේශයේ ගොවිමහතෙක්. ඒ ගොවි මහතා තමන්ගේ අත්දැකීම රණසිංහයන්ට කියනකොට රණසිංහයන්ගේ වයස අවුරුදු 17ක්.


ඒ සිදුවීම නිමිති කරගෙන අජන්තා රණසිංහයන් මේ ගීතය පසුකාලීනව ලියනවා. හැබැයි මේ ගීතය ලියන්නේ, මහාචාර්ය සනත් නන්දසිරි වෙනුවෙන් ලොකු බලාපොරොත්තුවක් තබාගෙන "මියුරස වින්දන" ගුවන්විදුලි වැඩසටහන වෙනුවෙන්. ඒ වැඩසටහන නිෂ්පාදනය කලේ ආචාර්ය දයාරත්න රණතුංගයන්.


ඒත් ඒ වකවානුවේ දී මහාචාර්ය සනත් නන්දසිරි මහතාගේ පුතණුවන්ගේ මරණය සිද්ධවීම නිසා එතුමා හිටියේ ගීත ගයන්න පුළුවන් මානසික තත්ත්වයක නොවෙයි. මේ නිසා ආචාර්ය අජන්තා රණසිංහයන්, වැඩසටහනේ නිෂ්පාදක ආචාර්ය දයාරත්න රණතුංගයන්ට ඇරියුම් කරනවා අමරා රණතුංගයන් සමග ගයන්නට. නමුත් වැඩසටහනේ නිෂ්පාදකවරයා නිසා එතුමාට ගුවන්විදුලි සංස්ථා සභාපතිතුමාගේ අවසරය අවශ්‍ය වන බව පවසා එතුමාට එය කාරුණිකව ප්‍රතික්ෂේප කරන්නට සිදුවෙනවා.


අවසානයේදී අජන්තා රණසිංහයන් අබේවර්ධන බාලසූරියන්ට මේ ගීතය ලබාදෙනවා. කොහොමහරි ත්‍යාගා එන්. එඩ්වඩ් මහත්මියත් සම්බන්ධ කරගෙන මේ ගීතය ගයනවා. මෙය ඉතා ක්ෂණිකව පුහුණු කිරීමට සිදුවීම නිසා සරත් දසනායකයන් පෙර පුහුණුවීමේ දී සංගීත ඛණ්ඩ යන අතරතුර අබේවර්ධනයන් ළඟට ඇවිත් කන ගාවට කර ගීතය පුරුදු කර තිබෙනවා.


අවසානයේ දී නොසිතූ විරූ ජනප්‍රියත්වයක් මේ ගීතයට ලැබෙනවා. එය සිදුවන්නේ මෙහෙමයි. මියුරස වින්දන වැඩසටහනින් ප්‍රචාරය වූ පසු වසර 2ක් ගතවන තුරු මේ ගීතය පටිගත කල පටිගබඩාවේ පවතිනවා. එය ජනප්‍රිය කරවීමේ ගෞරවය හිමි විය යුත්තේ ඩෝල්ටන් අල්විස් මහතාටයි. එතුමා ගුවන්විදුලියේ සේවය කරන කාලයේදී රාත්‍රී වැඩසටහනකට ප්‍රචාරය කිරීමට අවශ්‍ය ගීත සොයනවිට මේ ගීතය පටි ගබඩාවෙන් සොයාගෙන තැටිගත කර ප්‍රචාරය කරනවා. ඉන්පසුවයි මේ ගීතයේ ජනප්‍රියත්වය ඇතිවන්නේ.

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page