top of page

ආදරයෙන් මා හදවට එතෙන ලතා

  • මාධව විජේසේකර
  • May 22, 2017
  • 2 min read

හඬ : අබේවර්ධන බාලසූරිය

පද : කුලරත්න ආරියවංශ

තනුව : සරත් දසනායක

ආදරයෙන් මා හදවට එතෙන ලතා

ගම්මානෙට එළිය නුඹයි ස්වර්ණලතා //

දිගින් දිගට නිල් වරලස මුදන්නියා නෙතින් නෙතට ඔමරි බැලුම් නෙලන්නියා රුවින් රුවට දිලි නෙත් සිත් බඳින්නියා දුරින් දුරට මා සිත ගෙන මටත් හොරා ඇදෙන්නියා

ආදරයෙන් මා හදවට එතෙන ලතා ගම්මානෙට එළිය නුඹයි ස්වර්ණලතා //

පාන්දරින් මල් පිපුණා බඹරු දනී සිහින් තුසර පිණි වැටුණා අහස දනී සෙමින් විහඟ ගී ගැයුණා පවන දනී නුඹට බැඳුණු සිත හන්දා මා විඳි දුක කවුරු දනී

ආදරයෙන් මා හදවට එතෙන ලතා ගම්මානෙට එළිය නුඹයි ස්වර්ණලතා //

මේ ගීතය ප්‍රවීණ ගී පද රචක කුලරත්න ආරියවංශයන්ගේ ගුවන්විදුලියෙන් ඇසුණු පලමු ගීතයයි. එය ලියවුණු ආකාරය ගැන ප්‍රවීණ මාධ්‍යවේදී ඒ. ඩී. රංජිත් කුමාර මහතා 2016-06-30 වන දින සරසවිය පුවත්පතට මෙසේ ලියා තිබුණි.


හැත්තෑව දසකයේ මුල් භාගයේ මටත්, මගේ මිත්‍ර කුලරත්න ආරියවංශට නවක ගායකයකු හඳුනාගන්නට ලැබුණි. ඔහු හලාවත මුගුණුවටවල ඉපදී කොළඹට රැකියාවට පැමිණි දැකුම්කලු, ප්‍රිය මනාප උත්තුංග දේහධාරි තරුණයෙකි. ඒ වන විට ඔහුගේ ප්‍රථම සරල ගීය ගුවන් විදුලියේ ජනප්‍රිය වෙමින් තිබුණි. 'කවුරුදෝ . . . කවුරුදෝ කවුරුදෝ ඔබ කවුරුන්දෝ' ඒ ගීතයයි. කරුණාරත්න අබේසේකරයන් රචනා කළ මේ ගීතයේ තනු නිර්මාණය සනත් නන්දසිරිගෙනි. සනත් නන්දසිරි (අයියා) මේ නවක ගායකයා මට හඳුන්වා දෙන ලද්දේ ගුවන් විදුලි සංස්ථාවේදීය.


'මල්ලී මෙයා හලාවත. හොඳට සින්දු කියනවා . . . පුළුවන් උදව්වක් කරන්න'


ගායකයා අබේවර්ධන බාලසූරියය. ඔහු ඉතා ඉක්මනින්ම කොටින්ම 'මචං' කියන තරමටම ළෙන්ගතු විය. මම අබේ ගැන පුංචි හැඳින්වීමේ ලිපියක් 'සරසවිය'ට ලිව්වෙමි. ඔහු එවකට වී අලෙවි මණ්ඩලයේ සේවය කළේය. මැනිං මර්කට් එකේ ටියුනිෂියා ගබඩාවේ ස්ටෝර් කීපර් වූයේ ඔහුය. එකලම ඔහු ගැයු 'මං නැතිදා මේ රට ඔබටයි' ගීතයත් ජනප්‍රිය වී තිබුණි.


මම දිනක් කුලරත්න ආරියවංශට අබේ හඳුන්වා දුන්නේ 'මෙයත් ගීත රචනා කරන්න හැකියාව තියෙන මගේ හොඳම මිතුරා' යයි කියමිනි. 'මගේ ඉදිරි ගුවන් විදුලි වැඩ සටහනකට මම කුලේගේ ගීතයක් තෝර ගන්නවා' අබේ කීවේය.


කුලේත්, මමත් අඩුම තරමේ සතියකට දින දෙකක්වත් අබේ හමුවීමට ඔහුගේ කාර්යාලයට ගියෙමු. අප එන දිනය කල් තියා දැනගන්නා අබේ එදාට දවල් කෑම සඳහා විශාල බත් පාර්සලයක් අම්මාට කියා පිළියෙල කරගෙන එයි. හලාවත සිට එන අබේ අප දෙදෙනා එනතුරු මඟ බලා සිටී.


'මචං අම්මා උඹලට නිසා මොන මොනවද ගොඩක් ජාති හදලා ඇති' අබේ බත් පාර්සලය දිග අරිමින් පවසයි.

'මචං මේක ලෝකේ තියෙන ලොකුම බත් පාර්සලය වෙන්න ඇති'.

සත්තකට කෙසෙල් කොලයේ ඔතන ලද එය ලොකු පාර්සලයකි.

'මචං අම්මා උඹලා දෙන්නව මතක් කළා. දවසක අපි හලාවත යමු'

අපි තිදෙනා මේසයේ පුටු තුනක් තබාගෙන පාර්සලය ලෙහා තුන් පැත්තක සිට අනුභව කරන්නෙමු. එහි හැම බත් පිඩක්ම අප රස නහර පිනවා යයි.


'මචං මට පර්යේෂණ ගීතයක් කියන්න ලැබුණා. කුලේ සින්දුව උඹ ලියපන්'

කුලේගේ මුහුණේ සතුටු සිනා දෝර ගැලීය.

දින දෙකකට පසු කුලරත්න ගීතයක් ලියාගෙන පැමිණියේය. එය ඔහු විසින් මුල්වරට ලියූ සහ ගුවන් විදුලියට ලියූ ප්‍රථම ගීතයයි. ඔහු එය මට පෙන්වීය.

'අපි මේකට හොඳ තනුවක් හදා ගම්මු'

අබේවර්ධනට එය පෙන්වීමට පසු දින ඔහුගේ කාර්යාලයට ගියෙමු.

'මචං මේක මරු. 'පර්යේෂණ ගීවලට තෝරා ගන්නේ ගැමි නාද රටාවක් තියෙන ගී. අපි මේක සරත් දසනායකට දෙමු'

'දසේ තමයි මේකට හොඳම මිනිහා' මම යෝජනාව අනුමත කරමින් කීවෙමි.

'මචං මම අද ගෙදරින් කෑම අරං ආවේ නෑ. ඊයේ හිටියේ කොළඹ. අපි යමු හස්තිගිරියට කෑම කන්න'

අපි කතා කරමින් සන්ත බස්තියමේ ප්‍රේමදාස මහතාගේ ගෙය අසල පිහිටි හස්තගිරි හෝටලයට ගියෙමු.

අබේගේ සිත කෙතරම් ගීයට ඇදී ගියා ද කිවහොත් ඔහු කිහිප වතාවක් ගීය ලියූ කඩදාසිය කමිස සාක්කුවෙන් ගෙන මිමිණුවේය.

'ආදරයෙන් මා හදවට එතෙන ලතා ගම්මානෙට එළිය නුඹයි ස්වර්ණලතා'

'මහත්තයාට අලුත් සින්දුවක් හම්බ වෙලා වගේ' යයි අබේට සුවිශේෂයෙන් කෑම ගෙනෙන වේටර් කෑම දීසි මේස උඩ තබමින් ඇසීය.

'ඔව්, මේ මහත්තයා ලිව්වේ' අබේ කඩදාසිය තම හිතවත් වේටර්ට පෙන්වීය.

සරත් දසනායක මියුරු තනුවක් දමා එය ගුවන් විදුලියේ පටිගත කළ දා අප සිටියේ කොතරම් සතුටකින්ද? 'දසේ' කොයිතරම් මියුරු තනු නිර්මාණය කරන්නෙක්දැයි කතා කරමින් දසේ, අබේ, කුලේ හා මා ගුවන් විදුලියේ කැන්ටිමට ගියෙමු.

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page