සිරියහනේ ලණු ඉහිරී
- මාධව විජේසේකර
- May 21, 2017
- 1 min read



සිරියහනේ ලණු ඉහිරී... සුසුම් හෙළන රෑ... මකුළු දැලින් සිරි සිරියේ වියන් බඳින රෑ... යට ලීයෙන් නාරි ලතා
මල් පූදින්නේ... යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ...
සඳෙන් සඳට මුවාවෙලා කල දවසත් ගෙවී ගිහින්... නෙතට නුහුරු කඳුළු බිංඳු පැදුරට මුහු වෙලා හොරෙන්... යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ... යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ...
යහන තළා සැප විඳිනා පළදී නැතුවා පෙර පින්... මාල වළලු නොතිත් අයට අප අමතක වෙලා ගිහින්... යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ... යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ...
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ කොහොමද? මෙය විසංවාදයකට තුඩු දුන් ගීයක්. ලූෂන් බුලත්සිංහයලයන් මේ ගැන අදහස් දක්වන්නේ මෙහෙමයි.
"නාරිලතා මල් පිපෙන්නේ හිමාලයේ. ඒ මල හරියට නිරුවත් නාරි දේහයක් වගෙ කියලා කියනවා. ඒ මල දැක්කම භාවනා කරන තාපසියන්ගෙ පවා සිල් බිඳෙනවලු. නවගමුවේ පැරැණි පත්තිනි දේවාලයේ කොස් උළුවස්සක කොස් ගෙඩි පල ගත්තයි කියල කතාවක් මම අහලා තියෙනවා. එයින් පේන්නේ ඒ දේවාලේ තියෙන අනුහස. ඉතින් තනිකඩ මිනිහෙක්ගෙ තනිකම් හිතක තියෙන හාස්කමට යට ලීයකින් නාරිලතා මල් පූදින්න බැරිද?"
මෙම ගීතය ගැන අපූර්ව විවරණයක් වරක් මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් සිදුකරනු ලැබ තිබුණා. ඒ මෙසේයි.
“සිරියහනේ ලණු ඉහිරි ගීතය තනිකඩයකුගේ ගීතයක්. ලූෂන් විවාහකයකු වුණත් තනිකඩයකුටත් හිතාගන්න බැරි විදියට තනිකඩ දුක ඒ ගීතයට එකතු කරලා තිබෙනවා. ඒ තනිකඩයා දපලා ඉන්නේ දිරච්ච ලණු ඇඳක. ස්ත්රිය අතපත නොගැවුණු බිත්තිවල මකුළු දැල් බැඳිලා. ගේ ඇතුළේ තියෙන්නේ කොච්චර පාළුවක්ද කියනව නම් සිරි සිරි ගාලා මකුළු දැල් සෙලවෙන සද්දෙ පවා කනට ඇහෙනවා. මෙහෙම වෙලාවක ඇඳේ ඉන්නකොට යට ලීයෙන් නාරිලතා මල් පූදිනවා.
සමහර කසාද බැඳපු මිනිස්සු අහනවා කොහොමද නාරිලතා මල් පූදින්නේ කියලා. ඒත් තනිකඩයෙක් නම් කවදාක්වත් ඒ ප්රශ්නෙ අහන්නෙ නැහැ. අමතක කරන්න එපා. යට ලීයෙන් පූදිනවා කියන්නේ සපත්තු මලවත් සියඹලා මලවත් ඇපල් මලවත් නෙමෙයි. නාරිලතා පුෂ්පයයි.”
තමා මෙම ගීතය ලීවේ පණ්ඩිත් ආචාර්ය අමරදේවයන්ට බවත් එතුමන් එය තමන්ටවත් නොදන්වා එඩ්වඩ් ජයකොඩිට දී තිබූ බවත් ලූෂන් බුලත්සිංහලයන් පුවත්පතකට පවසා තිබුණා.
Comments