top of page
Search

දුවේ නුඹ මගෙ ප්‍රාණයයි

  • මාධව විජේසේකර
  • May 19, 2017
  • 2 min read

හඬ : සුනිල් එදිරිසිංහ

පද : බණ්ඩාර ඇහැලියගොඩ

තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ

දුවේ නුඹ මගෙ ප්‍රාණයයි සැබෑ වුණ සුබ සිහිනයයි සෙනෙහසින් කුලගෙට පියනගන්නේ

සනුහරේ අභිමානයයි //


මං මලක් ලෙස නුඹ නොහැදුවේ පෙති හැලී පරවෙන නිසාමයි දුක දිනා හිනැහෙන හැටි දුවේ නුඹ දැන උගත් පාඩම තමයි මිල මුදල නිල බල යා නොදෙයි // කළ හොඳම විතරක් ඉතිරිවෙයි //


දුවේ නුඹ මගෙ... අප මී මුතුන් මිත්තන් එදා සිය ලේ කඳුළු දහදිය පුදා පරපුරෙන් පරපුරට රැගෙන ආ ඒ ගෞරවය මගෙ දුව තමා නුඹ යන්නෙ හිස් දෑතින් නොවේ // ගෙනියන්නෙ ඒ අභිමානයයි //


දුවේ නුඹ මගෙ...


බණ්ඩාර ඇහැලියගොඩ මහතාගේ DSI ආයතනයේ සේවය කරන මිතුරෙකු දියණිය විවාහයෙන් දින කිහිපයකට පසු බණ්ඩාර මහතා හම්බවෙන්න ආවලු, ඇවිත් කීවලු මගේ දුවගේ මගුල් දව‍සේ ගීත වගයක් දැම්මා හැබැයි මට නම් ඒ ගීතවලින් දුව ගැන කිසිම හැගීමක් ඇති උණේ නෑ කියලා. ඒ වගේම එයා ඇහුවලු දුව ගැන හිතට දැනෙන ගීතයත් ලියන්න බැරිද අපිට කියලා. අන්න ඒ නිසා තමයි මේ සොදුරු ගීතය ලියවෙන්නේ. ගීතය ලියන්න තීරණය කරනකොට බණ්ඩාර මහතාට හිතුනාලු දියණියකට පියෙකු විදිහට අවවාදයක් දෙන්න සුදුසුම වෙලාව තමයි මේක කියලා.


ස්ථායි කොටසේ කියවෙන්නේ දියණියක් යනු පරපුරක අභිමානයක්. තාත්තා කෙනෙකුගේ ආදරය වැඩිපුර ලැබෙන්නේ දියණියකට. ගීතයෙන් තාත්තාගේ පණට දියනිය සමාන කරන්නේ ඒ නිසයි. තමන්ටත් පරම්පරාවටත් නිගාවක් නොවෙන විදිහට කෙරෙන දියණියකගේ විවාහය පරපුරේ හැමෝටම අභිමානයක්.


දියණියක් වූ පමණින් දරුවෙක් මලක් විදිහට හදන්නත් බෑ. මොකද ඇය ජීවිතයට මුහුණු දිය යුතු නිසා. ඉතින් පවුල් ජීවිතයේ ඔබට දුක සතුට සම සමව විඳින්නට හැකියාව තියෙනවා. මිල මුදල් බලය කියන්නේ සදාකල් පවතින දෙයක් නම් නොවෙයි. මගෙ දුවේ යම් දිනයක ඔබ කරන හැම හොඳ ක්‍රියාවක්ම ඔබව සතුට කරයි. ඒ සතුට ජීවිත කාලයටම ඉතිරි වේවි.


පරපුරෙන් පරපුරට රැකුණු අපේ පරම්පරාවේ ගෞරවය අද රැකපු මගේ දුව, ඔයා ඔය යන්නේ හිස් අතින් නම් නෙමෙයි මගෙ දුවේ. ඔයා යන්නේ ඒ අපේ පරපුරේ අභිමානයත් එක්කමයි මගෙ දුවේ. ගීතයේ මේ කොටස ඇහෙනකොට නම් විවාහ වෙන තරුණයාට උනත් තමන්ගේ මනමාලිය ගැන ලොකු ආඩම්බරයක්, හැඟීමක් ඇතිකරවනවා.


ගීතය මුලින්ම ගායනා කරනකොට සුනිල් එදිරිසිංහ මහතා ගීතය මගක් කියලා ටිකක් වෙලා ඉදලා තමයිලු ආපහු ගායනා කරේ. මොකද ඔහුටත් දියණියක් ඉන්න නිසා ඇයව මතකයට එන්න ඇති.

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page