රන් තරු පායන
- මාධව විජේසේකර
- May 14, 2017
- 1 min read


රන් තරු පායන අහස බලාගෙන ඇයි ඔබ තව හිනැහෙන්නේ මගෙ හද දිනු ආදරය සොරාගෙන වෙනකෙකු නොවැ අද එන්නේ
මිහිර සොයාගෙන මගෙ ජීවය ගැන කඳුලැලි හා ලතවන්නේ සමාවෙයන් සොඳුරියෙ තවමත් මා අතමයි වරද තියෙන්නේ කුඩා රුවල මැද තනිව සයුර මැද ඈත අතීතය දෙස බැලු ඈ කොහේ සිටන් කොයිබට මා යාවිද මටනම් නැහැ වැටහෙන්නේ රන් තරු පායන... පලා දෙපලුකර හදවත දේ නම් කාට එකතු කල හැක්කේ බලාගන්න සෙනෙහස තව ඔබටයි මා හද තුල හැමවේලේ රන් තරු පායන...
කවුරුවත් දන්නේ නැති වුණාට මේ ගීතය මුලින් ම ගායනා කලේ ස්ටැන්ලි පීරිස් මහතා. මේ ගීතය පද රචනා කරලා තනුව නිර්මාණය කලෙත් එතුමා විසින්මයි. ඒ නිසා එතුමා වාග්ගේයකාරයෙක් කියලා හඳුන්වන්න පුළුවන්. එතුමාගේ ෆෝර්චූන්ස් සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් සහ සැක්සෆෝන් වාදකයෙක් තමා පද්මසිරි පැස්කුවල් කියන්නේ. එතුමාගේ බාල සහෝදරයා තමයි කීර්ති පැස්කුවල් මහතා.
එවකට පාසල් යන වයසේ පසුවූ කීර්ති පැස්කුවල් මහතාට ඉතින් අයියාගේ සංගීත කණ්ඩායමේ නායකයා වීරයෙක් වගේ පෙනුනේ. ස්ටැන්ලි පීරිස් මහතා රටේ ප්‍රසිද්ධ වුණේ දක්ෂ සැක්සෆෝන් වාදකයෙක් හැටියට වුණාට එතුමා දක්ෂ වයලීන් වාදකයෙක්, චිත්‍ර ශිල්පියෙක් ඒ වගේම දක්ෂ ගායකයෙක්. චිත්‍ර ශිල්පියෙක් හැටියට කොච්චර දක්ෂ ද කියනවා නම් කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ චිත්‍ර කර්ම ගුරුවරයා ලෙසත් කටයුතු කරලා තියෙනවා. එතුමාගෙන් චිත්‍ර කර්මය ඉගෙනගත් සුප්‍රසිද්ධ ගෝලයෙක් තමා රූකාන්ත ගුණතිලක කියන්නේ. ඉතින් ස්ටැන්ලි පීරිස් මහතාගේ ගායනයට කීර්ති පැස්කුවල් මහතා වශී වෙලා තිබුණේ.
කාලයත් එක්කම අයියාගේ මග පෙන්වීම යටතේ ෆෝචූන්ස් කණ්ඩායමට බේස් ගිටාර් වාදකයෙක් ලෙස සම්බන්ධවෙලා ගායකයෙක් ලෙස පළමු කැසට් පටියට ගායනා කරන්න මේ ගීතය ස්ටැන්ලි මහතාගෙන් ඉල්ලුවාම එතුමා ඉතාමත් නිහතමානීව තමාගේ ම ගීතය ලබා දුන්නා. ඒ විතරක් නොවෙයි සංගීත පථය (Music Track) එක පවා නිර්ලෝභීව කරලා දුන්නා. ඒ තරම්ම එතුමා උතුම් චරිතයක්.
Comments