top of page
Search

ජගන් මෝහිණී - සරස්වතී අභිනන්දනය

  • මාධව විජේසේකර
  • May 14, 2017
  • 3 min read

හඬ සහ තනුව : ආචාර්ය පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව

පද : ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ

ජගන් මෝහිණී මධුර භාෂිණී චාරු දේහිණී කමල වාචිනී සරස්‌වතී දේවී වන්දේ සරස්‌වතී දේවී

කම්පිත කංචන මාලා කූචිත කිංකිණි නූපුර ජාලා පාද සරෝජේ කටී තටාකේ චංචල නර්තන ලීලා

මීන මකර පංකජ රූපාකුල අංකික කුංකුම රේඛා පූර්ණ කුම්භ මිව පීන පයෝධර පූරිතාමෘත ධාරා

භාග්‍ය සාධන පුණ්‍ය මූර්තිධර සුරපුර වර අභිරූපා දේහි දේහි වරදායක හස්‌තේ ශුභ මංගල මුද්‍රා

අපි හැමදාම වගේ පාසලක විවිධ ප්‍රසංගයක් හරි වෙනත් කලා උත්සවයක හරි සරස්වතී මෑණියන්ට වන්දනා කරලනේ වැඩ පටන්ගන්නේ. ඒකට හේතුව ඇය තමා සංගීතය, නර්තනය ඇතුළු සූසැට (64) කලාවන්ට අධිපතිනිය. මහා බ්‍රහ්මයාගේ ආදරණී‍ය බිරිඳ. ඉතින් එවැනි කෙනෙක්ව කලා උළෙලක දී මුලින්ම අභිනන්දනය කලොත් ඒක හරිම වටිනවා. ඒ විතරක් නෙමෙයි ලොකු ආශීර්වාදයක් වෙනවා. ඉතින් මගේ මේ බ්ලොග් අඩවියේ ජයග්‍රාහී 100 වන ලිපිය සඳහා මේ සරස්වතී අභිනන්දන ගීතය ගැන ලියන්න තෝරාගත්තා. හරි නම් පළවෙනියටම ලියන්න තිබුණේ. ඒ වුණත් ගීතයේ විස්තර ටික හොයාගෙන 100 වන ලිපිය එනකම් තියාගෙන හිටියා.


මේ ගීතය නිර්මාණය වුණේ 1964දී ආරම්භ වූ සරසවිය සිනමා සම්මාන උළෙලේ තේමා ගීතය හැටියට. එවකට සරසවිය පුවත්පතේ ප්‍රධාන කර්තෘ විමලසිරි පෙරේරා (ජී. එච් පෙරේරා කවියාගේ පුතණුවන්) මේ ගීතය මානවසිංහයන් ලවා රචනා කර ගෙන, තනුවක් යොදා ගායනා කරන ලෙස අමරදේවයන්ට බාරදී තියෙනවා. මානවසිංහයන්ට සිංහල භාෂාවට අමතරව පාලි සහ සංස්කෘත භාෂාවන් පිළිබද විශාල දැනුමක් තිබුණා. මේ ගීතයට සංස්කෘත හින්දි වංග මිශ්‍ර පද සංයෝග වී තිබෙනවා.


පළමු සරසවිය සම්මාන උළෙලේ හොඳම සංගීත අධ්‍යක්ෂවරයා බවට පත් අමරදේවයන් තවත් අතකින් සරසවියට සුවිශේෂී කෙනෙක්. ඒ එදා සිට අද දක්වාම පැවැත්වෙන මේ සිනමා මංගල්‍යයේ සරසවි අභිනන්දනයේ තනු නිර්මාපකයා ද ගායනවේදියා ද එතුමා වන නිසා. ඒ සුන්දර මතකය ගැන අමරදේවයන් "සරසවි" පුවත්පතටම මෙසේ ප්‍රකාශ කර තිබුණා.


"සරසවි දේවිය අභිනන්දනය කිරීම භාරත කලාකරුවන්ගේ පුරුද්දක්. ඒ වගේම සරස්වතී අභිනන්දනය සූසැට කලාවන්ටම පොදුයි. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ලියූ ‘ජගන් මෝහිණී’ ගීතය භාරතයේ විවිධ සරස්වතී පුද ගීත අසා ගයා ඇති මට ඒ හැම ගීතයකටම වඩා රසවත්. මේ ගීතයට හින්දි වංග මිශ්‍ර පද සංයෝග වී තිබෙනවා. සරසවි චිත්‍රපට උළෙල සඳහා 1964 දී අප ‘ජගන් මෝහිණී’ ගීතය නිර්මාණය කළ දිනය මට අද වගේ මතකයි.


‘එවකට මා නැවතී සිටියේ බත්තරමුල්ලේ නිවසකයි. අප දෙදෙනා එළිමහනට වී සඳ බලාගෙන කතා කරමින් සිටියා. සරස්වතී දේවිය ගැන ගීතය ලියැවුණේ එදින රාත්‍රියේදීයි. ඔහු කොළය මා අත තැබුවා. එය දකින විටම තනුවත් නිර්මාණය වුණා. මා ඔහුගේ මුහුණ දිහා බැලුවා. නිර්ව්‍යාජ සිනහවකින් ඔහුගේ මුහුණ පිරී තිබුණා.


‘සරසවිය’ ගැන ලියූ හොඳම ගීතය තොල් මතුරන විට මට හැඟී ගියේ සරසවි දේවිය ගැන මීට වඩා හොඳට වෙනත් කිසිවෙකුටත් නොලිය හැකි බවයි. ජයදේවගේ ගීත ගෝවින්දයෙන් ලද පරිසමාප්ත රසය මම මානවසිංහයන්ගේ මේ ගීතයෙන් ලැබුවා.


සනාතන වටිනාකමකින් යුත් මේ සම්භාව්‍ය ගීතය මගේ සංගීත දිවියෙහි එක් මංසන්දියක් සලකුණු කරන අවස්ථාවක්. මුලින්ම මා මේ ගීතය ගායනා කළ දිනයේ මානවසිංහයන් මා වැළඳ ගත්තා. අප දෙදෙනා එකිනෙකා දෙස මොහොතක් බලා සිටියා. ‘අමරේ අපි අප්‍රමාණ මිනිස්සු නොවේදැයි’ මානවසිංහයන් කීවේ අව්‍යාජ සිනහ රැල්ලකින් මුහුණ සරසා ගනිමින්".


ජගන් මෝහිණී – මධුර භාෂිණී චාරු දේහිනී – කමල වාසිනී සරස්‌වතී දේවී වන්දේ සරස්‌වතී දේවී


මුළු ලොවම මෝහනය කරන, චාරු දේහයක් ඇති, මධුර ලෙස කතා කරන, පද්මයක් උද වැඩවසන සරස්වතී දේවියනි, අපි ඔබව වන්දනාමාන කරමු.


කම්පිත කංචන මාලා කූචිත කිංකිණි නූපුර ජාලා පාද සරෝජේ කටී තටාකේ චංචල නර්තන ලීලා


පා පියුමෙහි, සෙලවෙන රන්මාලා සහ කිංකිණි හඬ නංවන නූපුර නම් වූ වළලුකරට දමන ආභරණ පැළඳ, උකුළු නම් විලෙහි ඔබ නර්තන‍යේ යෙදෙන ආකාරය ඉතා අලංකාරයි.


මීන මකර පංකජ රූපාකුල අංකික කුංකුම රේඛා පූර්ණ කුම්භ මිව පීන පයෝධර පූරිතාමෘත ධාරා


මාළුන් මකරුන් සිටින ජලයේ පද්මයක් බඳු වූ ද කුංකුමවලින් තැබූ රේඛාවක් බඳු වූ ද ඔබගේ පියයුරු, අමා දහර පිරුණු භද්‍ර ඝට දෙකක් බඳුය.


භාග්‍ය සාධන පුණ්‍ය මූර්තිධර සුරපුර වර අභිරූපා දේහි දේහි වරදායක හස්‌තේ ශුභ මංගල මුද්‍රා


භාග්‍යය කැඳවන පින් මහිමයේ මූර්තියක් බඳු ඔබ දිව්‍යලෝකයේ ඉතාම ලස්සනම දිව්‍යාංගනාවයි. ඔබගේ දෑත්වලින් ශුභ මංගල මුද්‍රාව පෙන්වා ඔබේ වරම අප වෙත දෙනු මැනවි!!!


සංස්කෘත භාෂාවෙන් පමණක් ලියැවුණු “සිංහල” ගීත ඇත්තේ ස්වල්පයයි. සුනිල් සාන්තයන් ගායනා කරන ලලිත ලවංග ගීතයත් ලියවී ඇත්තේ සංස්කෘත භාෂාවෙන්.


අපේ සිංහල සංගීතයේ සරස්වතී අභිනන්දන ගීත කිහිපයක්ම තිබෙනවා.


  1. ජගන් මෝහිණී – ඩබ් ඩී අමරදේව / චන්ද්‍රරත්න මානවසිංහ / ඩබ් ඩී අමරදේව

  2. ගීතාංජලී – ඩබ් ඩී අමරදේව, සනත් නන්දසිරි / ප්‍රණීත් අභයසුන්දර / ඩබ් ඩී අමරදේව

  3. ඉන්ද්‍ර මණ්ඩිත – සනත් නන්දසිරි / විමල් අභයසුන්දර / සනත් නන්දසිරි

  4. පංකජ නයනී – පී වී නන්දසිරි / චන්ද්‍රරත්න මානවසිංහ / පී වී නන්දසිරි

  5. කමලාසනී – පී වී නන්දසිරි / විමල් අභයසුන්දර / පී වී නන්දසිරි

  6. ජය ජය දේවි – ගුණදාස කපුගේ / ප්‍රණීත් අභයසුන්දර / ගුණදාස කපුගේ

  7. සංගීතේ සංකල්පිත – සෝමතිලක ජයමහ / විමල් අභයසුන්දර / ඩී ආර් පීරිස්

මේ ගීත සියල්ලම සම්පූර්ණයෙන්ම පාහේ සංස්කෘත භාෂාවෙන් පමණක් ලියැවී ඇති වීම විශේෂත්වයක්. තවත් විශේෂයත්වයක් වන්නේ මේ ගීත 7 ම මානවසිංහ මහතා සහ අභයසුන්දර පිය - පුතු පමණක් අතින් ලියැවී තිබීමයි.

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page