කාගෙද ගොන් වස්සා
- මාධව විජේසේකර
- May 12, 2017
- 2 min read



මගේ කුඹුරේ ඉණි වැට බිඳලා
ලපටි ගොයම් පැල කා දමලා
රැක සිටියෙමි වෙහෙසක් නොබලා
අල්ලාගෙන ආවෙමි බැඳලා
කාගෙද ගොන් වස්සා
මගෙ කුඹුරට බැස්සා
හොඳ ගානක් උස්සා
පවරා දෙමී වස්සා
කාගෙද මේ හොර වසු පැටියා
සොයා කෙනෙක් එන තුරු සිටියා
මගේ අලාභය මේ සැටියා
අය කර ගෙන දෙමි හොර කොටියා
කාගෙද ගොන් වස්සා...
සවස් වෙලා අපෙ ගේ පැත්තේ
කවුද බොලේ එනවා ඇත්තේ
වැටේ කඩුල්ලෙන් අර පැත්තේ
හඳුනන මුහුණකි මම දැක්කේ
කාගෙද ගොන් වස්සා...
මොකද ළඳේ මේ අරුමැක්කේ
කලෙකින් ඔබෙ ලස්සන දැක්කේ
අප ගැන ඇයි සැලකුම් නැත්තේ
මගෙ නම් නැහැ වෙනසක් ඇත්තේ
කාගෙද ගොන් වස්සා...
සිරිමල් අයියට පැණි වරකා
ගෙදරින් ගෙන ආවෙමි ගොරකා
සිරිමල් අයියේ මට සලකා
දෙනවද මට මගෙ කළු හරකා
දුන්නට පැණි වරකා
දෙන්නම් කළු හරකා
මා ගැන තව සලකා
දෙනවද බහ මැණිකා
අපි කවුරුත් විනෝද චාරිකාවක් යද්දී අනිවාර්යයෙන් ම මේ ගීතය ගායනා කරනවාමයි. ගීතයේ රිද්මය සහ වචන ඒ තරමට අපේ හද බැඳගෙන තියෙනවා. හැබැයි මේ ගීතයේ පසුබිම් කතාව නම් හරිම අපූරුයි. ක්ලැරන්ස් විජේවර්ධන සහ ඇනස්ලි මාලේවන කියන්නේ, රත්නපුරෙන් බිහි වූ ගායක දෙපලක්. ඔය "රුවන්පුරය අපේ ගම තමයි" කියන ගීතය නිර්මාණය වෙන්නෙත් ඒ නිසා.
ඉතින් ඔය පැත්තේ ගොඩක් ගොවිතැන් බත් කරන මිනිස්සු ජීවත්වෙන්නේ. බොහෝ අයට ගව සම්පත එහෙමත් තියෙනවා. ඉතින් සමහර අය තමන්ගේ හරක් ලිහලා දාලා යනවා උදේට. ඔය අතරට හරක් සමහර ඉඩම්වලට පැනලා අලාභ හානි කරනවා. හවසට හරක් තමන්ගේ අයිතිකාරයාගේ ගාලට නියමෙට යනවා. ඒ වගේ අය අල්ලන්න වෙනම මනුස්සයෙක් ඉන්නවා. එයාගේ රැකියාව අර නිදැල්ලේ ඉන්න හරකාව අල්ලගෙන ගහක බැඳලා හරකාගේ අයිතිකාරයා ඌව හොයාගෙන ආවාම මුදලක් අය කරගෙන ලිහලා දෙනවා. අලාභ වෙන්නේ වෙන කාටවත්, හම්බකරනේ වෙන කවුරුවත්!
දවසක් වයසක අම්මා කෙනෙකුගේ හරකෙක් ව ඔහොම අල්ලාගෙන ඉන්න කොට ඒ අම්මා හරකාව හොයා ගෙන ආවා. "අනේ පුතේ මට සල්ලි බාගේ නෑ. මට මගේ හරකාව දෙනවාද?" කියලා ඇහුවා. ඒ අම්මා ගැන අනුකම්පාවක් ඇතිවෙලා අර පුද්ගලයා අවසානයේ හරකාව ලිහලා දුන්නා. මේ සිද්ධිය ක්ලැරන්ස් විජේවර්ධනයන් ඇස් දෙකට ම දකිනවා. ඒ වයසක අම්මා වෙනුවට තරුණියක් ව ඇතුළත් කරලා අපූරු පුවතක් එතුමා නිර්මාණය කලා.
Comments