සිරි සාර බුලත්විට - සාරවිට (1965)
- මාධව විජේසේකර
- May 11, 2017
- 2 min read



සිරි සාර බුලත්විට කාලා බලන් //
හොඳ නංගී වරෙන් පොඩි මල්ලි වරෙන්
කට සුවඳ කරයි දත් පණුවෝ නොකයි
සිරි සාර බුලත්විට කාලා බලන්
පන්සල පල්ලිය කෝවිලි හන්දිය
බස් නැවතුම් පොලේ පෝලිමෙ හැමතැන //
කාගෙත් හොඳ හිත සමග බෙදාගෙන
කාලා බලන්
කරදමුංගු කරාබුනැටි සාදික්කා වසාවාසි
ඉඟුරු පියලි කොත්තමල්ලි
චුණ්ණ පූග නාගවල්ලි //
මේවා නිසි පදමට ගෙන කටට රහට
සිරි සාර බුලත්විට...
ඇති නෑදෑකම් තහවුරුවෙන්නට
නැති නෑදෑකම් ඇතිකරගන්නට
සැපතට විපතට ගමනට බිමනට
කාලා බලන්
කරදමුංගු කරාබුනැටි සාදික්කා වසාවාසි
ඉඟුරු පියලි කොත්තමල්ලි
චුණ්ණ පූග නාගවල්ලි //
මේවා නිසි පදමට ගෙන කටට රහට
සිරි සාර බුලත්විට...
තිස්ස ලියනසූරිය මහතා අධ්‍යක්ෂණය කල සාරවිට චිත්‍රපටියේ නාමාවලියට යොදාගෙන තිබුණේ මේ ගීතය. මේක ඇත්තටම බුලත් ගැන කරපු වාර්තා වැඩසටහනක් වගේ. අපිට අදටත් බුලත් ගැන එහෙම නැත්තන් සාරවිට වල අඩංගු වෙන්නේ මොනවාද කියලා මතක තියෙන්නෙත් මේ ගීතය නිසායි. ඒ තරමට ම මහගම සේකරයන්ගේ වචන මාලාව මිනිස්සුන්ගේ හිත්වලට වැදිලා තියෙනවා.
ඒ වගේම අමරදේවයන්ගේ සංගීතයත් ඒකට හරි අපූරුවට ගලපවා තිබෙනවා. මොකද ? අපේ ජන නාද රටා, විරිඳු ආදිය එකතු කරලා මෙහි තනුව නිර්මාණය කරලා තියෙන්නේ. එතුමාගේ සාමාන්‍ය තනුවලට වඩා වෙනස් ම තනුවක් මේක. මිල්ටන් පෙරේරා මහතාගේ කටහඬ මෙයට යොදාගෙන තිබෙන එකත් විශේෂයි. සාමාන්‍යයෙන් එතුමාගේ කටහඬ හුඟක් ම පීඩිත පන්තිය නියෝජනය කරන බවක් පේනවා. ඒකට හේතුව එතුමාගේ කටහඬේ තිබෙන දුක් සහිත ස්වභාවය. චිත්‍රපටියේ කතානායකයා සාරවිට වෙළෙන්ඳෙක් වීම නිසා එයට යොදාගෙන තිබීම ඉතා අපූරුවට ගැලපිලා තිබෙනවා. මේ සාරවිට වෙළෙන්ඳාගේ සංකල්පය ජෝ අබේවික්‍රමයන්ගේ. එතුමා රත්නපුර මහ සමන් දේවාලය ආශ්‍රිතව දැකපු ඇත්තම සාරවිට වෙළෙන්ඳෙක් නිසා තමයි මෙවැනි චිත්‍රපටියක් හදමු කියලා යෝජනා කරලා තියෙන්නේ.
සාරවිට චිත්‍රපටිය ගැන සැකෙවින් :
තිරගත වූ දිනය – 1965 ජූනි 25
ඉදිරිපත් කිරීම - සෙරන්ඩිබ් චිත්‍රපට
නිෂ්පාදනය - ශේෂා පලිහක්කාර
අධ්‍යක්ෂණය – තිස්ස ලියනසූරිය
සහාය අධ්‍යක්ෂණය – ජී. සිරිමාන්න
කතාව, දෙබස්, තිර නාටකය - කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා
කැමරා අධ්‍යක්ෂණය – ඩබ්ලිව්. ඒ. රත්නායක
කාර්මික ශිල්පී – ආර්. රිචට් පී. පෙරේරා
සංස්කරණය – ටයිටස් තොටවත්ත / සුජාතා තොටවත්ත
කලා අධ්‍යක්ෂණය – දයා කරුණාරත්න
වේශ නිරූපණය – ඊබට් විජේසිංහ
ශබ්ද පරිපාලනය – ආර්. ඒ. ඩබ්ලිව්. පෙරේරා
සංගීත අධ්‍යක්ෂණය – ඩබ්. ඩී. අමරදේව
ගීත ප්‍රබන්ධය – මහගමසේකර, බී. ටී. මැන්දිස්
ගීත සහ ගායන ශිල්පීන් :
සිරිසාර බුලත් විට – ජේ. ඒ. මිල්ටන් පෙරේරා
ලක්ෂ ගණන් වස්තු ලැබී – මිල්ටන් පෙරේරා / සී. ටී. ප්‍රනාන්දු / ඇන්ටන්රුද්‍රිගු / දයා සන්දනායක
මේ සිංහල අපගෙ රටයි – නන්දා මාලිනී
බන්දා ජය කෙහෙළි - ඩබ්. ඩී. අමරදේව / සුජාතා පෙරේරා / රෝහිත විජේසූරිය
ගීත පටිගත කිරීම - සරසවි චිත්‍රාගාරය – දළුගම
ගීත පොත් - ආනන්ද පොත්හල - මරදාන
ග්‍රැමෆෝන් තැටි – හිස් මාස්ටර් වොයිස්
රඟ පෑ නළු නිළියන් :
ජෝ අබේවික්‍රම
වොලී නානායක්කාර
ජීවරාණි කුරුකුලසූරිය
බන්දු මුණසිංහ
පියදාස ගුණසේකර
ලලිත් එස්. මෛත්‍රිපාල
ජෙසිකා වික්‍රමසිංහ
සුසිලා ජයන්ති
සෝභනී අමරසිංහ
දොන් සිරිසේන
ශේෂා පලිහක්කාර
විශේෂ :
1966 පැවති 3 වෙනි සරසවිය සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම තිර නාටකය, හොඳම නළුවා, හොඳම කැමරා ශිල්පි, හොඳම සංස්කාරක, හොඳම කලා අධ්‍යක්ෂක, හොඳම ගීත රචක, හොඳම ගායිකාව සඳහා සම්මාන හිමි විය.
Comments