උම්බෑ කිය කියා - හතර මහා නිධානය (1965)
- මාධව විජේසේකර
- May 11, 2017
- 2 min read



උම්බෑ කිය කියා මරණ බයේ //
කිරි ටික මුලදි බොයි
පස්සේ මරා කයි
මිනිසා දරුණු ඇයි
මේ එළදෙන අසයි
උම්බෑ කිය කියා මරණ බයේ //
බැරි බර පටවලා - කෙවිටෙන් තල තලා
කුර ගෙවෙනා තුරා - මැරෙනා තෙක් දිරා
රෑ දාවල් උදේ - විඳ විඳ දහ වදේ
නිරයේ දුක දකී - දරු පවුලම රකී
අන්තිමෙ මේ ගොනා - මස් කර විකුණනා
කඩයට පවරනා - මිනිසයි තිරිසනා
කවදාදෝ මිනිසාගේ අනුකම්පා ඇතිවන්නේ
උම්බෑ කිය කියා මරණ බයේ //
දරුවට මව නැති - දෙවරුවෙ කිරි දෙති
ගොමටික පොහොර වෙයි - ගොඩ මඩ සරුකෙරෙයි
මැරුණත් නොනවතියි - හමට ද බැටදෙති
මැරුණත් නොනවතියි - හමට ද බැටදෙති
කවදාදෝ මිනිසා මේ තිරිසන් ගති දුරලන්නේ
උම්බෑ කිය කියා මරණ බයේ //
හතර මහා නිධානය චිත්‍රපටියේ ගීතයක් ගැයීමට ජේ.ඒ. මිල්ටන් පෙරේරා මහතාට නියමිතව තිබුණා. ඒ සඳහා පටිගත කිරීමට ගිය මිල්ටන් පෙරේරා මහතා, චිත්‍රපටියේ අධ්‍යක්ෂ එල්. එම්. පෙරේරා මහතාට සහ චිත්‍රපටියේ ගීත රචක කරුණාරත්න අබේසේකරයන්ට මෙසේ පවසා ඇත. "එල්. එම්.! උඹත් හරක් මස් කන්නේ නැහැ. මමත් හරක් මස් කන්නේ නැහැ. කරු අයියාත් හරක් මස් කන්නේ නැහැනේ. අපි මේ ගැන සින්දුවක් මේ චිත්‍රපටියට බලෙන් හරි වගේ දාමු".
ඒ අදහස අනුමත කල සියලූ දෙනා මිල්ටන් පෙරේරා මහතාට නියමිත ව තිබූ ගීතය වෙනත් ගායන ශිල්පියෙකුට ලබා දීමට තීරණය කලා. මේ කතා බහ යන අතරවාරයේ ඒ අසල දෙමළ සයිවර් කඩයක ගුවන්විදුලියෙන්, දෙමළ විකට චිත්‍රපටියක වේග රිද්ම ගීතයක් ප්‍රචාරය වී තිබෙනවා. ඒ අනුව මේ ගීතයේ පද රචනාව කරුණාරත්න අබේසේකරයන් අතින් ලියවී තිබෙනවා. චිත්‍රපටියේ මේ ගීතය නැරඹූ බොහෝ දෙනා ඉන්පසු ගවමස් කෑම අතහැරිය බවත් දැනගන්නට ලැබී තිබෙනවා.
අනික මේ ගීතයේ එක්තරා විශේෂ තැනකට ඔබේ අවධානය යොමු කරන්න මම කැමතියි. "ගොමටික පොහොර වෙයි - ගොඩ මඩ සරුකෙරෙයි" කියන පේලි දෙකට පසු රබන් වාදනය කරන දර්ශනයක් ඔබට දකින්නට ලැබෙනවා. එය හරක් හම රබානට යොදාගැනීම පිළිබඳව අපට දෙන අපූරු සංකේතාත්මක දර්ශනයක්. සිංහල අවුරුදු කාලෙට රබන් ගැහුවත් ඒත් පහරදෙන්නේ, හරක් හමට බව අපිට ගීතයෙන් කියන්නේ, "මැරුණත් නොනවතියි - හමට ද බැටදෙති" යන්න දෙවරක්ම ගැයිමෙන්. මෙම රබන් වාදනය කරන දර්ශනයේ පසුබිම් හඬ වාදනය කර ඇත්තේ, අපේ රටේ ප්‍රවීණ ගායකයෙක් සහ මුල් කාලයේ තබ්ලා වාදකයෙක් වූ ටී. ෂෙල්ටන් පෙරේරා මහතායි. එතුමා ඉන්දියාවේ භාත්ඛණ්ඩේ විශ්වවිද්‍යාලයෙන් සංගීතය පිළිබඳ විශාරද උපාධිය ලබා ලංකාවට පැමිණි පසු චිත්‍රපටියක පසුබිම් වාදනයට එක් වූ ප්‍රථම අවස්ථාව මෙයයි. එතුමා එම රබන් කොටස වාදනය කර ඇත්තේ තබ්ලාවේ බායාවෙන් බව තම පියා තමාට පවසා ඇති බව මිල්ටන් පෙරේරාගේ පුත් ප්‍රියංකර පෙරේරා මහතා වරක් රූපවාහිනී වැඩසටහනක දී ප්‍රකාශ කලා.
මේ ගීතයේ රූපරාමුවලට පෙනී සිටින්නේ, සිනමා නිළි සබීතා පෙරේරා මහත්මියගේ ආදරණීය පියානන් වන අප අතරින් වෙන්වූ ප්‍රවීණ නළු ස්ටැන්ලි පෙරේරා මහතායි. එතුමාගේ ආදරණීය බිරිඳ, එනම් සබීතා පෙරේරා මහත්මියගේ මව වූ ගර්ලි ගුණවර්ධන මහත්මිය ද මේ චිත්‍රපටියේ චරිතයක් නිරූපණය කලා.
හතර මහා නිධානය චිත්‍රපටිය ගැන සැකෙවින් :
තිරගත වූ දිනය – 1965 ජූනි 30
ඉදිරිපත් කිරීම - ශ්‍රීධර චිත්‍රපට
නිෂ්පාදනය - ජේ. වික්‍රමසිංහ / ඩබ්. එච්. සුමතිපාල / එච්. කේ. ධර්මදාස
අධ්‍යක්ෂණය, කතාව, දෙබස්, තිර නාටකය – ඇල්. ඇම්. පෙරේරා
කැමරාව - තිමති වීරරත්න
සංගීත අධ්‍යක්ෂණය – පී. එල්. ඒ. සෝමපාල
ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර
ගීත හා ගායන ශිල්පීන් :
සෝබනලු කොළඹ - සී. ටී. ප්‍රනාන්දු
එදා වේල ගෙවන්නේ - සී. ටී. ප්‍රනාන්දු
ප්‍රාණගාත චෝර කර්ම – ධර්මදාස වල්පොල
ලංකා පුරේ - මොහිදීන් බෙග් / ලතා වල්පොල
මාතා මාතා මාතා - ලතා වල්පොල
උම්බෑ කිය කියා - ජේ. ඒ. මිල්ටන් පෙරේරා
ගීත පටිගත කිරීම – ලංකා චිත්‍රාගාරය
ගීත පොත් – ඇම්. ජී. ධර්මදාස සහෝදරයෝ
රඟපෑ නළු නිළියන් :
එල්. එම්. පෙරේරා
විජිත මල්ලිකා
ඩොමී ජයවර්ධන
ස්ටැන්ලි පෙරේරා
ධර්ම ශ්‍රී රණතුංග
ඩේවිඩ් ධර්මකීර්ති
ගර්ලි ගුණවර්ධන
ලිලියන් එදිරිසිංහ
ආනන්ද ජයරත්න
සේනාධීර කුරුප්පු
ජීවරාණි කුරුකුලසූරිය
වී. ටී. ජී. කරුණාරත්න
Commentaires