දිවි කතරට ගංගාවයි
- මාධව විජේසේකර
- May 10, 2017
- 2 min read


පද : ධම්මික පී. රත්නායක
දිවි කතරට ගංගාවයි මට හමුවූ ගංගා දිවි ඇති තුරු මගෙ සරණට ඔබම වේය ගංගා දිවි ගමනේ ජය මාවත හදුනා දුන් ගංගා ඔබෙ සෙනෙහස නොලැබුණු දා මා තනිවෙයි ගංගා
මලක මෙලෙක කියා දුන්නේ ඔබෙ දෑතයි ගංගා ඒ අයුරින් මා සිත සතපවන්න මගෙ ගංගා පුර සඳ සේ මුව මඬලින් සෙනෙහස දුන් ගංගා හැම දිනකම මා හමුවී සිනාසෙන්න ගංගා
දිවි කතරට ගංගාවයි.... ඊයේ රෑ මා සිහිනෙන් දුටුවේ ඔබයි ගංගා මා හැරදා අළුයම ඔබ වෙන්ව ගියා ගංගා මේ අයුරින් හැම දිනකම සිත සනහා ගංගා වෙන්ව නොයා ජීවිතේ අරුණ වෙන්න ගංගා දිවි කතරට ගංගාවයි .....
රිය පදවන ගමන් තනු නිර්මාණය කරන්න පුළුවන් අය ඉන්නවාද? එහෙම නිර්මාණය වෙච්ච ගීත තියෙනවා ද? එහෙනම් මෙන්න ඒකට හොඳම උදාහරණය. මේ ගීතයේ තනුව නිර්මාණය වෙලා තියෙන්නේ, හරිම අපූරුවට.
ගුවන්විදුලියේ හිටපු ප්‍රවීණ නිවේදකයෙක් වන "ධම්මික පී. රත්නායක" මහතා අතින් පද රචනාව කරලා අවසන්වුණාට පස්සේ, මේ ගීතයට තනුවක් යොදාගන්න බෝගොඩ මහතාට බැරිවෙලා තියෙනවා. එතුමාට ගුවන්විදුලියේ සරල ගී වැඩසටහනක් යෙදිලා තිබුණා. ඒ වැඩසටහනට තමා මේ ගීතය නිර්මාණය කරගන්න ඉඳලා තියෙන්නේ. නමුත් ඒ දිනවල සංගීත ප්‍රසංගවලට සහභාගී වීමට සිදුවී තිබුණ නිසාම ඒ කටයුත්ත කල්ගිහින් තිබෙනවා.
ඉතින් වැඩසටහන හෙට නම් අදත් ප්‍රසංගයක්. මේ ප්‍රසංගයට සහභාගී වීමට බෝගොඩ මහත්මයත්, "එඩ්වඩ් ජයකොඩි" මහත්මයාගේ වාහනේ ම නැගලා යනවා. වාහනය පදවන්නේ, ජයකොඩි මහත්මයා. යන ගමන් බෝගොඩ මහත්මයා, "එඩ්වඩ්, මට හෙට සරල ගී වැඩසටහනක් තියෙනවා. ගීතයක් තියෙනවා තාම තනුව දාගන්න බැරිවුණා. කොහොමද මේක කරගන්නේ?". "මුල පේලි දෙක තුනක් කියන්න" වාහනය පදවන ගමන් ජයකොඩි ශූරීන් බෝගොඩයන්ට කියනවා. ඉතින් මුල් පද දෙක කිව්වාම, ජයකොඩි මහතා වාහනය පදවන ගමන් මුමුණමින් පළවෙනි පේළි දෙකේ තනුව කිව්වා. "ෂා! ඒක හොඳයි ලස්සනයි" කියලා බෝගොඩ මහත්මයා කිව්වාම, "හොඳයි ද? එහෙනම් ටක් ගාලා ස්වර ටික ලියාගන්න. Chorus එකේ ඉතිරි පද දෙකත් ඔය විදියටම කියන්න. එතකොට දැන් Chorus එක හරිනේ." කියලා ජයකොඩි මහතා කියනවා. ඒ වෙලාවේ ම "ස" ස්වරයේ ශ්‍රැතිය (C Major) මතකයට නංවාගෙන බෝගොඩ මහතා ස්වර ටික ලියාගන්නවා.
ටිකක් දුර ගිය පසු කඩයක තේ එකක් බොන්න එහෙම නතරවෙලා, නැවත වාහනය පදවාගෙන යන ගමන් ගීතයේ අන්තරා කොටස්වලටත් මේ විදියටම ස්වර ටික ලියවෙනවා. දැන් ගීතය නිර්මාණය කරලා අවසන්. "එඩ්වඩ්, මෙන්න ස්වර ප්‍රස්තාරය. හෙට එනකොට ඔයා ඉතිරි Music ටිකත් දාලා අරගෙන එන්න" කියා බෝගොඩයන් ස්වර ලියූ කොල ටික ජයකොඩි මහතාට භාර දුන්නා. ප්‍රසංගයට සහභාගී වී දෙදෙනාට ම එන්න ලැබුණේ රෑ දෙගොඩහරි ජාමෙත් පහුවෙලා. නමුත් පහුවදා උදේ 10 ට 11 ට විතර එඩ්වඩ් ජයකොඩි ශූරීන් මැදිරියට ඇවිත් සම්පූර්ණ කල තනු නිර්මාණය භාරදුන් පසු ගීතය පටිගත කලා.
නමුත් මේ ගීතය බොළඳ ප්‍රේම ගීතයක් කියමින් ගුවන්විදුලියේ කිහිප වතාවක් ම වාරණයට ලක්වුණා. මීටත් වඩා බොළඳ ගීත ප්‍රචාරය වුණ ගුවන් විදුලියේ මේ ගීතය එසේ තහනම් කිරීමට විරුද්ධව උත්සාහය අත්නොහැරි රෝහණ බෝගොඩයන් කිහිපවතාවක් ම ගැයූ පසු ගීතය අනුමත වෙනවා. ඉන්පසු එතුමාගේ කැසට් පටියටත් මේ ගීතය ඇතුළත් කරනවා.
ගීතයේ පද මාලාව ගත්තත් හරිම අපූරුයි. හැම පේලියක් ම අවසන් කරලා තියෙන්නේ, "ගංගා" කියන වචනයෙන්. මෙතන ගංගා කියන වචනයට තේරුම් දෙකක් තියෙනවා. එකක් සාමාන්‍යයෙන් "ගඟ" කියන තේරුම. අනික, "ගංගා" කියන ස්ත්‍රීයකට යොදන නම. මේ විදියට එකම වචනයට තේරුම් දෙකක් දෙන වචන වලට සිංහල භාෂාවෙන් කියන්නේ, "ශ්ලේෂාර්ථ පද" කියලා.
අනිත් එක මේ පද මාලාවේ පේලියෙන් පේලිය ගත්තා ම මාත්‍රා 22ක් තියෙනවා. මේ වගේ ආකෘතියකට තනුවක් යොදන එක ටිකක් අමාරුයි. මොකද එතකොට කවියක් වගේ තනුව එන්නේ. ඒ නිසා, "දිවි" කියන වචනය එළියෙන් තියලා විෂම ග්‍රහ ගීතයක් විදියට තමයි, මේ තනුව නිර්මාණය වෙලා තියෙන්නේ. දිවි කියන වචනය කිව්වට පස්සේ තමයි තාලය ආරම්භ වෙන්නේ. රිය පදවන ගමන් තනු නිර්මාණය කරපු නිසා ම එය අපූරුවට වෙලා තියෙන එකත් හරි පුදුමයි. එඩ්වඩ් ජයකොඩි මහතා කොච්චර දක්ෂයෙක් ද ?
Comments