top of page
Search

වළාකුළින් බැස සමන් කුළත් වැඳ

  • මාධව විජේසේකර
  • May 8, 2017
  • 3 min read

හඬ සහ තනුව : සුනිල් සාන්ත

පද : අරිසෙන් අහුබුදු

වළාකුළින් බැස සමන් කුළත් වැඳ එලෝ බලා යනවා අනේ මගෙන් වැඩ ගනිව් ගනිව් හඬ හඬා ඔහේ යනවා..

දැවේ දැවේ බිම් දිදී රජස් දුම් බැලූ බැලූ හැම'තේ යවව් යවව් මා එහේ මෙහේ හා ගිමන් නිවා පොළොවේ.. එදා රටේ මේ දනෝ තැතින් මා තැනින් තැනේ රඳවා මගෙන් වැඩක් ගෙනැ මටත් වැඩක් කොටැ ලොවේ නමක් තැබුවා.. වැඩක් නොගත් දිය හඬා දොඩා මේ මුවේ බලා යනවා හැපී බිඳී සිඳු තෙරේ වැදී කරදියෙන් එලෝ යනවා..

1969-70 කාලයේ දී මහවැලි ව්‍යාපාරයේ ආරම්භයත් "මහවැලි ගීත" කියලා වෙනම ගීත සාහිත්‍යයක් අපේ රටේ බිහිවුණා. ඒ දවස්වල ගුවන් විදුලියේ මෙවැනි ගීත ප්‍රචාරය වුණා කියලා අපේ අම්මත් මට කිව්වා. අද වගේ රූපවාහිනිය, අන්තර්ජාලය වැනි දියුණු මාධ්‍ය නොතිබුණ එවන් යුගයක අපේ රටේ ආරම්භ කරන්න යන දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් ගැන මිනිස්සුන්ගේ හිත්වලට දැනෙන යමක් කරන්න මේ ගීතවලට හැකිවුණා. කාටත් දැනගන්න මහවැලි ගීතවලට උදාහරණ කිහිපයකුත් ඔන්න දැම්මා.

  • සිරිපද ලස සමනොල සිරසේ (මහවැලි මහවැලි මහාවැලි) - හඬ සහ තනුව : ආචාර්ය පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව / පද : මහගමසේකර

  • රිදී බුබුලු වැල් - හඬ සහ තනුව : ආචාර්ය පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව / පද : මහින්ද අල්ගම

  • මහවැලියේ සියුමැලියේ - හඬ : මිල්ටන් පෙරේරා / තනුව : ෂෙල්ටන් පෙරේරා

මේ ගීතයත් එසේ බිහි වූ මහවැලි ගීතයක්. මේ ගැන කතා කරන්න කලින් මට ඉස්කෝලේ 7 වසරේ සිංහල පෙළපොතේ තිබුණ කවි පන්තියක් මතක් වුණා. "එච්. එම්. කුඩලිගම" කිවිඳුන් රචනා කල "ගංගාවේ ගීතය". ඒ දවස්වල කටපාඩම් දුන්නා මතකයි. එයින් එක කවියක් විතරක් මෙතන සඳහන් කරන්නම්.


සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි ඇඹරෙමි එහෙත් පසු නොබසිමි නොනවතිමි කවදා කොතනදී හෝ මහ මුහුද හිමී හමුවුණු කෙනෙහි මා සතු බර ඔබට දෙමි


මේ කවිය ලියලා තියෙන්නේ, මාත්‍රා 18ක් වෙන පරිදි "සමුද්‍රඝෝෂ විරිතෙන්". මේ වගේ කවි පන්තියක් කවදාවත් ගීතයක් බවට පත් කරන්න අමාරුයි. මේ කාරණේ නිසාම "අරිසෙන් අහුබුදුවන්" මේ ගීතය රචනා කරද්දී එතුමා විසින්ම සංගීත ආකෘතියක් නිර්මාණය කර තිබෙනවා. ගී පද මාලා ව හොඳින් නිරීක්ෂණය කරන්න.


වළාකුළින් - බැස සමන් - කුළත් - වැඳ


එතුමා හලන්ත අක්ෂර වලින් ඒ කියන්නේ (හල් - අන්ත) හල් කිරීමකින් අවසන් වන අක්ෂර වලින් යම් ධ්වනි ගුණයක් නිර්මාණය කරලා තියෙන්නේ. මේ ධ්වනි ගුණයෙන් නිරූපණය වෙන්නේ ගඟක් ඉහළ කඳුකරයේ සිට පහළට ගලාගෙන එන ආකාරයයි. බලන්න ඒ වගේ කිවියෙකුගේ නිර්මාණයක තියෙන අපූරුව! ගඟේ බැස්ම නිරූපණය වන ඒ රිද්මයට අනුව තමයි සුනිල් සාන්තයන් තනුව නිර්මාණය කරලා තියෙන්නේ.


එතුමා තවත් අපූරු වචන ටිකක් යොදලා තියෙනවා. "දැවේ දැවේ බිම් දිදී රජස් දුම්...." කියන අන්තරා කොටස සම්පූර්ණයෙන් ම බැලුවොත්, රජස් කියලා කියන්නේ දූවිල්ලට කියන තවත් වචනයක්. ඒ කොටසින් සම්පූර්ණයෙන් ම කියන්නේ, දූවිලි වලින් බහුල වියළි කලාපේ ප්‍රදේශවල වතුර නැතිව ඒවා ගින්නෙන් දැවෙනවා වගේ තියෙන්නේ. ඒ නිසා මාව එහෙට යවන්න. එතකොට මට පුළුවන් ඒ පළාත්වල ජල අවශ්‍යතා සපුරන්න. මහවැලි මහා සැලැස්මේ මූලික අරමුණ වුණෙත් උතුරට හරවලා අනුරාධපුර වගේ වියළි කලාපයේ ජල අවශ්‍යතා සපුරන එකනේ.


දෙවැනි අන්තරා කොටසේ "එදා රටේ මේ දනෝ තැතින් මා තැනින් තැනේ රඳවා" කියලා අදහස් කරන්නේ, අතීතයේත් රජ දරුවෝ, මහවැලි ගඟ අමුණු බැඳලා හරස් කලා කියන එකයි. "පළවෙනි අග්බෝ රජතුමා" මිණිපේ අමුණ එහෙම බැන්ඳානේ. අදටත් ක්‍රියාත්මක වන මහවැලි ගඟේ පිහිටි පැරණිතම අමුණ එයයි. "ලොවේ නමක් තැබුවා" කියලා තියෙන්නෙත් ඒ ගැනයි.


තව විශේෂ කාරණාවක් තියෙනවා කියන්න. මේ ගීතයේ වචන බැලුවාම අපිට නුහුරු බවක් දැනෙනවා. ඊට හේතුව, අරිසෙන් අහුබුදු මහතාගේ බස. එතුමා "හෙළ හවුලේ" සාමාජිකයෙක්. ඒ වගේම සුනිල් සාන්තයන් හෙළ හවුලේ ආභාෂය ලැබූ අයෙක්. ඒ අයගේ මූලික අරමුණ වුණේ පිරිසිදු සිංහල භාෂාවක් ව්‍යප්ත කිරීම. වෙනත් භාෂාවලින් අපේ සිංහල භාෂාවට එකතු වූ වචන භාවිතා කරන්නට ඔවුන් කැමති වූයේ නැහැ.


හෙළ හවුලේ අයගේ බස් වහරේ තියෙන විශේෂත්වය තමයි "" කියන අක්ෂරය භාවිතා කිරීම. එහෙම නැත්නම් ඇ-කාරය භාවිතා කිරීම. සහ කියන අක්ෂර දෙක සිංහල අපිට හරිම විශේෂයි. මොකද? ලෝකයේ වෙනත් කිසිම රටක මේ ශබ්ද දෙකට වෙනම අක්ෂර දෙකක් නිර්මාණය කරලා නැහැ. "අමිශ්‍ර සිංහල හෝඩියේ" තමයි පළමුවරට මේ අක්ෂර දෙක එන්නේ. අමිශ්‍ර කියන්නේ, මිශ්‍ර නොවූ කියන එකයි. ඒ කියන්නේ පාලි සංස්කෘත භාෂාවල තිබෙන ශබ්ද නොමැති අපේ සිංහල බසේම පමණක් තිබෙන ශබ්ද අඩංගු හෝඩිය මේකයි. හෙළ හවුලේ අය භාවිතා කලේ මේ හෝඩියයි. ඒ නිසා තමයි මේ ගීතයේ වචන තරමක් නුහුරු බවක් තියෙන්නේ.


ඉතින් මේ ගීතය ගැන නොදන්නා අයට විස්තර දැනගන්න ඕන නිසාම සිංහල පාඩමකුත්, ඉතිහාස පාඩමකුත්, සමාජ අධ්‍යයන පාඩමකුත් එක්ක ඔන්න මේ ලිපිය ලිව්වා.

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page