top of page
Search

නෙතින් නෙත බලා

  • මාධව විජේසේකර
  • May 9, 2017
  • 2 min read

හඬ : රෝහණ බෝගොඩ

පද : දයා ද අල්විස්

තනුව : ස්ටැන්ලි පීරිස්

නෙතින් නෙත බලාලා හිතේ දුක නිවා අදින් පසු නිවේවී අපේ ඒ කතා රකින්නට සෙනේහේ හඬන්නට එපා නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා

ඈත් බව දැනීලා ඔබේ හා මගේ දුරක් ආ නිසා දැන් දුකත් ඒ වගේ // මහා සාගරේ සේ තිබුණත් හිතේ කුමට හිමි වුණාදෝ අහිමි ආදරේ රකින්නට සෙනේහේ හඬන්නට එපා නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා පතන්නට පවා මා වරම් අහිමි වූ හැඟීමක් රිදුම් දේ හෙටට උරුම වූ // දිනන්නට කිසිත් නෑ ලොවේ මින් මතු මගෙන් ඔබ ඈත් වී ගියායින් පසූ නෙතින් නෙත බලාලා හිතේ දුක නිවා අදින් පසු නිවේවී අපේ ඒ කතා රකින්නට සෙනේහේ හඬන්නට එපා නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා

මේ ගීතය නිර්මාණය වෙන්නේ 1982 වසරේ දී. පළමුව තනුව නිර්මාණය කර දෙවනුව පද මාලාව ලියවුණු ගීතයක් ලෙස මෙය ඉතිහාස ගත වෙනවා. ස්ටැන්ලි පීරිස් මහතා විසින් විනාඩි 10 - 15 ක වැනි ඉතාමත් කෙටි කාලයක් ඇතුළත මෙහි තනුව නිර්මාණය කෙරෙනවා. ඉන්පසු එතුමා අතින් වාදක මණ්ඩලයේ ශිල්පීන්ට ඒ ඒ අයට නියමිත කොටස් ලබා දී වාදනය කර පෙන්වන්න යැයි කියනවා. වාදනය කර පෙන්වූ පසු ස්ටැන්ලි පීරිස් මහතා සතුටට පත් වූ අතර ඉන්පසු මෙම තනුවට දයා ද අල්විස් මහත්මිය අතින් ගී පද රචනා වුණා.


මෙහි ඇති තවත් විශේෂත්වයක් නම් රෝහණ බෝගොඩයන් ද මෙම සංගීත පථයේ වාදකයෙක් ලෙස තබ්ලාව වැයීමයි. එතුමා ගායනයට පමණක් නොව තබ්ලා වාදකයෙක් ලෙස දස්කම් දක්වන්නෙක්. ඒ විතරක් නොව එතුමා පොලිස් නිලාධාරියෙක් ලෙස තම රැකියාව කර ඉන් ඉවත් වූ අයෙක් බව දන්නේ නැති තරම්. සංගීත පථය වාදනය කරනවිටත් රෝහණ බෝගොඩයන් මෙය තමාට නිර්මාණය කල ගීතයක් බව දැන සිටියේ නැහැ. මෙහි මූලික සංගීත පථයට (Music Track) රෝහණ බෝගොඩයන් සහ ප්‍රේමනාත් කොඩිතුවක්කු මහතා තබ්ලාවෙන් ද, පද්මසිරි පැස්කුවල් මහතා සුප්‍රානෝ සැක්සෆෝනයෙන් ද, ක්ලෝඩ් ප්‍රනාන්දු මහතා ස්වර පුවරුවෙන් ද මහින්ද බණ්ඩාර මහතා ලීඩ් ගිටාරයෙන් ද ඇතුළු තවත් වාදන ශිල්පීන් රැසක් දායක වූවා. ඒ අය අතරින් අද වන විට ශිල්පීන් 9 ක් පමණ අප අතර නැති බවත් වේදනාවෙන් එතුමා මතක් කරන අතර ඔවුන් සියළුදෙනා එදා තමන්ට නොමිලේ මේ ගීතය සඳහා සංගීතය සැපයූ බව එතුමා කෘතවේදී ව සිහිපත් කරනවා. මේ ගීතය එදා පටිගත කල ඩොනල්ඩ් අයිවන් මහතා ද සංගීත අධ්‍යක්ෂණය කල ස්ටැන්ලි පීරිස් මහතා ද අද ජීවතුන් අතර නැහැ.


එසේම මෙහි පදමාලාව එකතු කල දයා ද අල්විස් මහත්මිය යනු එවකට ගුවන් විදුලියේ සිටි දක්ෂ ප්‍රවීණ නිවේදිකාවක වන අතර, එතුමිය අප අතරින් වියෝ වූ අති දක්ෂ නිවේදක, ගී පද රචක ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ පළමු බිරියයි. එකල ගීත රචිකාවන් අල්ප යුගයක, එතුමිය සහ කුසුම් පීරිස් මහත්මිය නම තැබූ ගීත රචිකාවන් ලෙස ගෞරවයෙන් මතක් කරන්නට කැමතියි.

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page