top of page
Search

කඳුලක් වැටේ නම් පිසලන්න ආයේ

  • මාධව විජේසේකර
  • May 9, 2017
  • 2 min read

හඬ : රෝහණ බෝගොඩ

පද : ප්‍රේමකීර්ති ද අල්විස්

තනුව : ස්ටැන්ලි පීරිස්

කඳුලක්‌ වැටේ නම් පිසලන්න ආයේ ඔබ හමුවන්නෙ කවදද ආයේ සිතේ ඇඳෙන්නේ ඔබගේම රුවමයි හසරැල් දිනූ ලොව එක්‌ තැන් වෙලා කඳුලක්‌ වැටේ නම් පිසලන්න ආයේ

අප හමුවුනු මේ ගහකොළ කොතැනේ සිත රිදවන්න මෙසේ// ආදර ලොවකට කොතැන ද මායිම් වෙන්වුනු සිත්වල මතක ලොවේ එක්‌වන්නට බැරි නම් කඳුලක්‌ වැටේ නම් පිසලන්න ආයේ... සිත සිහිනයකි නෙත එක රැයකි යළි සසඳන්න බැරි// පාළුව තනිකම විඳගත හැකි නම් ළං වුණු උන් දුර ගියද ලොවේ එක්වන්නට බැරි නම් කඳුලක්‌ වැටේ නම් පිසලන්න ආයේ...


මේ ගීතය රචනා වූ ආකාරය හරිම අපූරුයි. මෙහි තනුව ස්ටැන්ලි පීරිස් මහතා විසින් පළමුව නිර්මාණය කර තිබුණා. ගීතයට ප්‍රේමකීර්ති ද අල්විස් මහතා අතින් පද මාලාවක් රචනා කරවාගන්නට රෝහණ බෝගොඩයන්ට අවශ්‍යව තිබුණා. එක ගීතයක් නෙමෙයි. මේ ගීතය ඇතුළුව ගීත කිහිපයක් ම. නමුත් ප්‍රේමකීර්ති ද අල්විස් මහතාව වැඩේට අල්ලාගන්නට හරිම අමාරුයි. ඒ නිසාම රෝහණ බෝගොඩයන්, දවසක් ප්‍රේමකීර්ති ද අල්විස් මහතාව ගුවන් විදුලි සංස්ථාවෙන් පිට තැනකට කැටුව යන්නට තීරණය කරනවා. අවසානයේ දී ප්‍රේමකීර්ති මහතාගේ යෝජනාව අනුව දෙදෙනා ගිහින් නතර වෙන්නේ, අවන්හලකයි!


ඒ අවන්හලේ ගීතයක් ලියනවා තියා හිතන්නවත් අමාරුයි. ඒ තරමට ගෝසාව. ඒ වෙනකොට හොඳ සිහියෙන් සිටි ප්‍රේමකීර්ති මහතා "හරි දැන් තනුව මට කනට කරලා කියපන්" යැයි බෝගොඩයන්ට කියනවා. බෝගොඩයන් එතුමාගේ කනට කොඳුරමින් තනුවේ මුල් කොටස කියා පෙන්වනවා. "මේක විරහ ගීතයක් නේද? කවුද මේ මෙලඩිය දැම්මේ?" ප්‍රේමකීර්ති මහතා ඇසූ විට "ස්ටැන්ලි අයියා දැම්මේ" යනුවෙන් පිළිතුරු ලැබෙනවා. "රයිට්" යැයි කියූ ප්‍රේමකීර්ති මහතා එතන තිබූ අත පිහින කඩදාසියක් ගෙන බොරු වචන ටිකක් නිකන් ලියනවා. ටික වේලාවකින් මධුවිත ගෙන්වාගෙන හොඳට සප්පායම් වී ඔහු අර වචන එකක්වත් ඉරකින්වත් කපන්නේ නැතිව එයට ඉතිරි වචන ටික යොදනවා. "දැන් මේ Chorus එක කියලා පෙන්නපන් අර මෙලඩියට" කිව්වාම බෝගොඩයන් නැවතත් කනට කොඳුරා තනුවේ හැටියට වචන ගයා පෙන්වනවා. අවන්හලේ සිටි අනෙක් අයට මේ වෙන දේ මොකද්ද කියලා තේරෙන්නේ නෑ.


මේ ආකාරයට ම අන්තරා කොටස් දෙකට ම පදවැල් ටිකත් ලියවෙනවා. අවසානයේ අත පිහින කඩදාසිවල ම රෝහණ බෝගොඩයන්ට අවශ්‍ය ව තිබූ ඉතිරි ගීතත් ප්‍රේමකීර්ති ද අල්විස් මහතා අතින් ලියවෙනවා. ගෝසාවෙන් පිරුණු අවන්හලක් ඇතුළත, කලින් නිර්මාණය වූ තනුවකට ක්ෂණිකව පද රචනා වූ මේ ගීතය අපි අදටත් ආදරයෙන් රසවිඳිනවා. නමුත් මෙවැනි හැඟීම්බර ගීතයක් මෙවැනි තැනක රචනා කරන්න තරම් ප්‍රේමකීර්ති ද අල්විස් යනු කුමන හැකියාවෙන් පිරි පුද්ගලයෙක් ද යන්න ඔබට වැටහෙනවා නේද?

Hozzászólások


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page