විනේ කටින උන්
- මාධව විජේසේකර
- May 7, 2017
- 2 min read


පද : පූර්ණ ජය ශ්‍රී
විනේ කටින උන් විනේ කටින උන් තරහක් නොකියාම කනේ කොහොඹ මිරිකනවා හැමදාම ගුණේ රැකන් ඉන්නලු මළ හිමිගේම වණේ නැතිව උන් වණේ නැතිව උන් දුක දන්නේ කෝම
ගමේ ගැටව් කරබාගෙන උන්නාට විසේ නැග්ග නාකිත් පිළ උඩ රෑට නෙළා ගනින් යැයි කප්රුක පිදුවාට ඉණේ රෙද්දමයි හිටියේ හරහාට විනේ කටින උන්... ළැමේ කිරට මොරගානා පැටියන්ට අනේ කවුද ඉන්නේ වේලක් දෙන්ට ළිපේ ගින්න තුන් වරුවේ අවුලන්ට වරෙව් මහතුනේ කුණු කය වළඳන්ට විනේ කටින උන්...
මේ ගීතය ජාතික තරුණ සේවා සභාවේ වාර්ෂිකව පවත්වනු ලබන වාර්ෂික ගද්‍ය පද්‍ය තරඟාවලියට යෞවන අංශයෙන්, පූර්ණ ජය ශ්‍රී මහතා ඉදිරිපත් කල කවි පන්තියක්. මේ සමගම කවි පන්ති 18 ක් ඔහු තරගයට ඉදිරිපත් කර තිබෙනවා. ඔහු විසින් ප්‍රදීපා ධර්මදාස මහත්මියට මේ කවි පන්ති සියල්ලම ගීතයක් සඳහා තෝරාගන්නට යවනවා. ඉතින් අවසානයේ දී ප්‍රදීපා ධර්මදාස මහත්මිය තවත් සංගීතඥයින් දෙදෙනෙක් සමග ඉතා පරිස්සමට මේ කවි පන්ති 18න් මේ කවි පන්තිය තෝරාගන්නවා. එහි ප්‍රතිඵලයක් හැටියට තමා මේක ගීතයක් බවට පත් වෙන්නේ.
මේකෙන් ඇත්තටම කියවෙන්නේ, සැමියා මිය ගිය කාන්තාවක් තමන්ගේ දරුවන් පෝෂණය කරගන්නට වෙන කරන්න දෙයක් නැතිකමට ගණිකා වෘත්තියට පත්වීම නිසා සමාජයෙන් විඳින ගැහැට ගැන. මේ පද මාලාව අති විශිෂ්ඨ පද මාලාවක්. මේකෙන් මුළු සමාජයටම කියන්න තියෙන දේ රිදෙන්න ම කියනවා.
ස්ථායි කොටසින් කියන්නේ, මේ කාන්තාවට අපහාස කරන අය - "විනේ කටින උන්" ඇයගේ මූණට කිසිවක් දෝෂාරෝපණය නොකර ඇය නැති තැන්වල ඇයට අපහාස කරනවා. මෙතන අපහාස කරනවා කියන එක කියන්නේ, "කනේ කොහොඹ මිරිකනවා" කියන වචන වලින්. කනට මී පැණි වක්කරනවා කියලා අපි කියන්නේ, මිහිරි ප්‍රශංසාත්මක දේවල් ඇහෙනවා කියන එකනේ. ඒකම අනික් පැත්තට අළුත් රූපකයක් යොදනවා "කොහොඹ" කියලා. "ගුණේ රැකන් ඉන්නලු මළ හිමිගේම" කියන කොට ම අපිට තේරෙනවා ඇය වැන්දඹු කාන්තාවක් බව. ඇය ගණිකාවක් ලෙස කටයුතු කරන එකෙන් ඇගේ මිය ගිය සැමියාට අපහාස කරනවා කියලා ගමේ අය කියනවා. අන්තිමට කියනවා "වණේ නැතිව උන් දුක දන්නේ කෝම" කියලා මෙතන වනේ නෙමෙයි වණේ. ඒ කියන්නේ තුවාලය කියන එකයි. තුවාලය තියෙන කෙනාට නේ වේදනාව තේරෙන්නේ. ඉතින් අපිට මේකෙන් තේරෙනවා අනික් මිනිස්සු ඇයට අපහාස කරාට ඇගේ තියෙන දුක අනිත් අයට තේරෙන්නේ නෑ කියලා.
පළවැනි අන්තරා කොටසින් කියන්නේ, ඇය දැන් සැමියා අහිමි කාන්තාවක් නිසා යම් අපහසුතාවන්ට ලක්වෙනවා කියන එකයි. ගමේ තරුණයින් ඇයට අනවශ්‍ය ලෙස කරදර කරන්න එන්නේ නැහැ. හැබැයි විසේ ගහපු නාකි මිනිස්සු එනවා රාත්‍රී කාලයට ඇයගේ නිවසට ඇයව වරදට පොළඹවාගන්න. "නෙළා ගනින් යැයි කප්රුක පිදුවාට - ඉණේ රෙද්දමයි හිටියේ හරහාට" මෙතනින් කියන්නේ, එහෙම ඇයත් එක්ක ඇසුරට එන්න උත්සාහ කලාට ඇය එහෙම යන්නේ නෑ. නමුත් කාන්තාවක් නිසා දැඩි ලෙස අසරණ වෙලා ඉන්නවා. මොකද? රටේ ලෝකේ මිනිස්සුන්ගෙන් සියළු චෝදනාව එන්නේ ඇයට නිසා.
දෙවැනි අන්තරා කොටසින් කියන්නේ, අකමැත්තෙන් වුණත් ඇයට සිද්ධවෙනවා ගණිකා වෘත්තියට යන්න. දරුවන්ට කන්න දෙන්න විදියක් නැහැ. කවුරුවත් ඇයට උදව් කරන්නෙත් නැහැ. ඒ නිසා ඇය අන්තිමට අඬගහනවා "වරෙව් මහතුනේ!" කියලා. මහත්වරුන්ට වරෙව් කියලා කතා කරනවා. එන්න කියන්නේ "කුණු කය වළඳන්ට" කියලා. වළඳන්ට කියන්නේ වැඩක් නැති කුණු ශරීරය. ඉතින් මේ පද රචනාව අති විශිෂ්ඨ පද මාලාවක් කියලා මම කියන්නෙත් මේ නිසයි. ගෞරවාන්විතව කතා කරන්නේ වැඩක් නැති දේකට. සැරෙන් කතා කරන්නේ, ගෞරව කල යුතු තැනට. මේකෙන් කියන්නේ සමාජයේ තියෙන විෂමතාව ගැන. අන්තිමට නින්දා අපහාස විඳින්නේ දුක් විඳින අසරණ මේ කාන්තාව මිසක් මහත්වරු නෙමෙයි.
මේක හරියටම බැලුවොත් අමරසිරි පීරිස් මහතා ගයන "ළඳුනේ" ගීතය වගේමයි. ඒකෙත් අන්තිමට කියන්නේ, "කුහුඹුවකට වරදක් නැති වැරදිකාර ළඳුනේ" කියලනේ.
Comments