දූවිල්ලෙන් සැදුණ ලියේ
- මාධව විජේසේකර
- May 7, 2017
- 2 min read



දූවිලි දූවිලි දූවිලි දූවිලි දූවිල්ලෙන් සැදුණ ලියේ බාලොලියේ බාල ලියේ ...//
වෙණ වයනා මිනිස්සුන්ට වීණාවක් ගෙනත් දෙන්න ....// දූවිල්ලෙන් සැදුණ ලියේ
බාලොලියේ බාල ලියේ ගී ගයනා මිනිස්සුන්ට පැන් කළයක් ගෙනත් දෙන්න දූවිල්ලෙන් සැදුණ ලියේ බාලොලියේ බාල ලියේ ගී අහන්න මිනිස්සුන්ට පන් පැදුරක් එළා දෙන්න ...// දූවිල්ලෙන් සැදුණ ලියේ බාලොලියේ බාල ලියේ දූවිල්ලෙන් සැදුණ ලියේ බාලොලියේ බාල ලියේ ...// දූවිලි දූවිලි දූවිලි දූවිලි
මේ ගීතය ලියවූ කතාව හරිම අපූරුයි. ජයන්ත චන්ද්‍රසිරි පද රචකයෙක් වුණේ මේ ගීතයෙන්. ජයන්ත මාස්ටර් එක්ක හරියට කියවන්න කැමති පුද්ගලයෙක්. මාස්ටර් ඒ හැමදේම අහගෙන ඉන්නත් කැමතියි. ඉතින් දවසක් මේ ගීතයේ අදහස ගැන ඔහු දිග හෑල්ලක් මාස්ටර් එක්ක කියවනවා. වියළි කලාපයේ දුෂ්කර ගමක පාසල් ගුරුවරියක් මේ ගීතය ගායනා කරන්නේ ආදී වශයෙන්. ඉතින් ඔක්කෝම හෑල්ල අහගෙන හිටපු මාස්ටර් ජයන්ත චන්ද්‍රසිරිට කිව්වාලු ඉතින් ඔච්චර කියන්නේ, ඔයාම ඕක ලියන්න කියලා. ජයන්ත අන්දුන් කුන්දුන් වුණා. අපෝ මට ගීත ලියන්න බෑ මං දන්නේ නෑ කියලා. නෑ නෑ ඔයාම ලියන්න ඕනේ කිව්වාලු. ඉතින් අන්තිමට ගීතය ලිව්වාලු. දූවිලි කියන වචනය මේකට යොදා ගන්නත් හේතුව වියළි කලාපයේ මිනිස්සු ජීවත් වෙන්නේ දූවිල්ලත් එක්ක නිසා කියලා ජයන්ත චන්ද්‍රසිරි මහතා කියලා තියෙනවා. ඉතින් මාස්ටර්ගේ පුද්ගල දක්ෂතාව හඳුනාගැනීම ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ.
ඉතින් ප්‍රදීපා ධර්මදාස මහත්මියගෙත් පළමු ගීතය මෙයයි. එතනත් හරි අපූරු දෙයක් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් මාස්ටර් එක්ක වැඩ කරන්න හරිම අමාරුයි. එතුමාට ගොඩක් කේන්ති යනවා. දැඩි ඉවසීමකින් වැඩ කරන්න ඕන. ගීතය පටිගත කරද්දී, ආරම්භයේ දී එන "දූවිලි දූවිලි" කියන වචන ටික ප්‍රදීපා මහත්මියට කියාගන්න බැරි වුණාලු. අවසානයේ දී මාස්ටර්ට හොඳටම කේන්ති ගිහින් ප්‍රදීපා ධර්මදාසට ශබ්දාගාරයෙන් එලියට යන්න කිව්වාලු. ඇය හඬමින් එලියට ගිහින් ටික වේලාවකට පස්සේ මාස්ටර් ආපහු ඇයව කැඳවලා සනසවලා දරුවෝ හරියට කරමු කියලා කිව්වට පස්සේ හරියටම රෙකෝඩින් එක කලාලු!!!
තව දෙයක් තියෙනවා. මේ ටෙලිනාට්‍යයේ රෙබෙකා නිර්මලී එක තැනක ආලාප් කොටසක් ගයනවා. වෙද ගෙදර හැමෝම ඒක අහගෙන ඉන්නවා. මාලිනි බුලත්සිංහල මහත්මිය තමා ඒ කොටස ගයන්නේ. ඒක උත්තර භාරතීය රාගධාරී සංගීතයේ එන කාෆි රාගය ඇසුරෙන් හැදුන කොටසක්. ඉතින් ජයන්ත චන්ද්‍රසිරි මහතා හිතාගෙන ඉඳලා තියෙනවා මාස්ටර්ට රාගධාරී සංගීතය ගැන දැනුමක් නෑ කියලා ඒ කාලයේ ඇතැම් ශිල්පීන් කියලා තිබුණ කටකතා වලට අනුව. ජයන්තගේ බිරිඳත් සංගීත ගුරුවරියක්. ඔහු බිරිඳගෙන් අහලා තියෙනවා මේ අවස්ථාවට ගැලපෙන රාගය මොකද්ද කියලා. ඇය කිව්වාලු කාෆි රාගය තමා හොඳ කියලා කොටසක් ගායනා කරලා පෙන්නුවලු. ඉතින් අවසානයේදී මාස්ටර්ට අභියෝගකරන්න කියලා හිතාගෙන ජයන්ත චන්ද්‍රසිරි දැඩි ඉල්ලීමක් කලාලු මාස්ටර්ගෙන් මට මෙතැනට කාෆි රාගයමයි ඕනේ කියලා. ඉතින් මාස්ටර් කියනවා "දැන් ළමයෝ මේක දැම්මාම ඔතන බහිනවානේ" කියලා. ඒත් ජයන්ත ස්ථාවරය වෙනස් කරලා නැහැ. ඔහු දැනගත්තා හරි මාස්ටර්ට වැඩේ බෑ කියලා. අවසානයේ මාස්ටර් හරි ඉතින් දැන් මේකනේ ඔය ඕනේ කියන්නේ කියලා පියානෝව ළඟට ගිහින් අර ජයන්තගේ බිරිඳ ගැයූ කොටසම මෙන්න එතුමාම වාදනය කරලා පෙන්වනවා. ඔන්න ඕක තමයි අවසානයේදී ටෙලි නාට්‍ය දර්ශනයේ යොදලා තියෙන්නේ.
ඉතින් මාස්ටර්ගේ දැනුමට අභියෝග කරන්න ගිහින් ඔන්න ඔහොමලු වුණේ.
コメント