හදවත ඉල්ලා නොලැබුණ විටදී
- මාධව විජේසේකර
- May 6, 2017
- 4 min read



හදවත ඉල්ලා නොලැබුණ විටදී දහසක් සිතුවිලි මා හද තුළ තෙරපී මිතුරියෙ ඔබ කෙලෙසක හෝ අමතක කරමී නොපිරූ පෙරුමන් පුරලා කුමට ද ලතැවී...//
ඔය නෙතු අග රැඳී තිබූ නිල්මිණි ඡායා දැක මා හදවත සසැලී සෙනෙහස කීවා... හදවත ඉල්ලා..... මතු අප උපදින භවයේ යළි හමු වේවා ඔය නෙතු අග සිසිල දැනී මට ළං වේවා හදවත ඉල්ලා.....
මේ ගීතය පටිගත කරලා තියෙන්නේ බොරැල්ල කිංසි පාරේ පිහිටි "ජෝ-නෙත්" ශබ්දාගාරයේ. ගීතය රචනා කරපු උපාලි ධනවලවිතාන මහතා එදා එම ස්ථානයට ඇවිත් පියානෝව මත කඩදාසියක් තබා ගෙන මේ ගීතය රචනා කරලා තියෙන්නේ. රචනා කරලා ඉවර වුණාට පස්සේ, "ස්ටැන්ලි අයියා! මේන් මං සින්දුව ලිව්වා. බලන්න කොහොමද කියලා" යයි කියමින් ගීතය ස්ටැන්ලි පීරිස් මහතාට ලබා දීලා තියෙනවා. එවේලේම තනුව ස්ටැන්ලි පීරිස් මහතා විසින් නිර්මාණය කරලා තිබුණා. ඒ කාලයේ අද වගේ නොව එතරම් විශාල සංගීත භාණ්ඩ ගණනාවක් පටිගත කිරීම්වලදී වාදනය කරලා නැහැ. සීමිත සංගීත භාණ්ඩ ගණනාවකින් තමා මේ ගීතය නිර්මාණය වී තිබෙන්නේ.
මේ ගීතයට තනුව යොදා ඇති ආකාරය හොයලා බලන එක හරි වටිනවා. සාමාන්‍යයෙන් මෙහි මුල් පද දෙක ගත්තාම මාත්‍රා වශයෙන් බැලුවාම "විෂම පාද" ස්වරූපයක් තියෙනවා. මේක ටිකක් පැහැදිලි කරන්න ඕන.
මාත්‍රාව කියලා කියන්නේ ස්වරයක් හරි අක්ෂරයක් හරි උච්චාරණය කරන්න ගතවන කාලයට. සාමාන්‍යයෙන් මාත්‍රා ප්‍රධාන වශයෙන් දෙකක් තිබෙනවා.
ලඝු මාත්‍රා - කාල ඒකක එකක් ගතවන මාත්‍රාව. ඒ කියන්නේ, හ, ද, ව, ත, වැනි අකුරු තනියෙන් උච්චාරණය කරන්න ගතවන කාලය.
ගුරු මාත්‍රා - කාල ඒකක දෙකක් ගතවන මාත්‍රාව. ඒ කියන්නේ, හා, දා, වා, තා, වැනි දීර්ඝ අකුරු උච්චාරණය කරන්න ගතවන කාලය. ඊට අමතරව හල් අකුරක් එක්ක ලඝු අකුරක් එනවා නම් එවිටත් ගුරු මාත්‍රාවක් වෙනවා. ඒ කියන්නේ, මල්, සල්, පන් වගේ වචන ගත්තාම. සාමාන්‍යයෙන්, ලඝු මාත්‍රා දෙකක් = ගුරු මාත්‍රා එකක් හැටියට හඳුන්වනවා.
මීට අමතරව ප්ලුත මාත්‍රා කියලා විශේෂිත මාත්‍රා වර්ගයක් තියෙනවා. කාල ඒකක තුනක් ගතවන මාත්‍රාව. හල් අකුරක් ගුරු අකුරක් සහිතව එනකොට උදාහරණයක් හැටියට පාන්, හාල් වගේ වචන එනකොට මේකවෙන්නේ.
දැන් බලමු පළවෙනි පේළිය දිහා "හදවත ඉල්ලා නොලැබුණ විටදී".
හ - 1, ද - 1, ව - 1, ත - 1, ඉල් - 2 , ලා - 2, නො - 1, ලැ - 1, බු - 1, ණ - 1, වි - 1, ට - 1, දී - 2
එතකොට මාත්‍රා එකතු කලොත් 1 + 1 + 1 + 1 + 2 + 2 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 2 = 16 ක්.
මේකට මාත්‍රා 16 ක් තියෙනවා. නමුත් දෙවැනි පේළියට එනකොට එතන මාත්‍රා 18ක් තියෙනවා. "දහසක් සිතුවිලි මා හද තුළ තෙරපී" ඒ නිසා මෙතන ඇතිවෙලා තියෙනවා. "විෂම පාද" තත්ත්වයක්. මේ නිසා හතරපද ආකෘතියෙන් බැහැරව තිබෙන එක සංගීතඥයෙකුට ගොඩක් පහසුවෙනවා තනුවක් නිර්මාණය කරන්න. බැරි වෙලාවත් හතර පද කවිවගේ ලියලා තිබුණා නම් තනුවක් යොදන්න හරිම අමාරුවෙනවා. මෙතනදී විෂමපාද තත්ත්වය අයින් කරන්න ඕන නිසා ස්ටැන්ලි පීරිස් මහතා කරලා තියෙන්නේ, ආරම්භයේ දී මාත්‍රා 2 ක් නිශ්ශබ්ද්දව (Rest එකක්) එකතු කරලා තියෙන එක. එතකොට මාත්‍රා ගණන balance වෙනවා. මේකට සංගීතයේ දී අපි කියන්නේ, අවග්‍රහය කියලා. තාලය පටන් අරන්ගත්තාට පස්සේ තමයි ගායනය ආරම්භ වෙන්නේ. අපි මීට කලින් කතා කරපු සුනිල් එදිරිසිංහයන් ගයන සඳකඩපහණක ගීතයෙත් මේ ලක්ෂණය තියෙනවා. එතන වෙලා තිබුණේ හතර පද ආකෘතිය තිබුණ නිසා වික්ටර් රත්නායකයන් එක මාත්‍රාවක් අවග්‍රහයක් ලෙස යොදලා අර ආකෘතියෙන් බැහැරවීම.
ඉතින් මේ ගීතය රචනා කරපු උපාලි ධනවලවිතාන මහතා ගැනත් අනිවාර්යයෙන් ම කියන්න ඕන. 1949 වසරේ මැයි 27 දා උපත ලැබූ එතුමා ජීවත් වූයේ අවුරුදු 38ක් පමණයි. 1988 වසරේ අප්‍රේල් 04 වැනිදා ජීවිතයෙන් සමුගත් මේ පුද්ගලයා අඩුවෙන් කතා කළ නමුත් වැඩියෙන් වැඩ කල පුද්ගලයෙක්. එතුමා ලියූ සරල හා චිත්‍රපට ගී සංඛ්‍යාව විශාලයි. තෝරා බේරාගැනීමකින් තොරව ඔහු ඕනෑම ගායක ගායිකාවක් වෙනුවෙන් ගීත ලියූවෙක්. ඒ නිසා පණ්ඩිත් අමරදේව, ආචාර්ය වික්ටර් රත්නායක, විශාරද දයාරත්න රණතුංගගේ සිට නිහාල් නෙල්සන්, ක්ලැරන්ස් විජේවර්ධන, එච්.ආර්. ජෝතිපාල දක්වා බොහෝ දෙනා ගැයූ ගී අතර එතුමා ලියූ ගී එකක් දෙකක් හෝ තිබෙනවාමයි.
දෝත පුරා මුතු මාල ලතා - බන්ධුල විජේවීර
රුවන් නෙළුම් කුමාරියේ - අබේවර්ධන බාලසූරිය
මංගල මධු සමය පතා - ආචාර්ය දයාරත්න රණතුංග
හත්වළල්ල කන්ද කපා -ආචාර්ය වික්ටර් රත්නායක
පහන් ටැඹ යට - එච්.ආර්. ජෝතිපාල
දිසාපාමොක් ඇදුරුතුමනි
උදුම්බරා මනාලියේ - ආචාර්ය දයාරත්න රණතුංග
උපමා රූපක අලංකාර
රූස්ස ගහ ළඟ - විජය කුමාරතුංග
පෙරමඟ සුබ නිමිත්ත වී - විජය කුමාරතුංග
කදිරදේව සුරින්දු - සුජාතා අත්තනායක
සඳ තාරකා හඬාවී - ප්‍රියා සූරියසේන
පෙර එක දවසක - මිල්ටන් මල්ලවාරච්චි
මම දෙවිඳුනි දෙවොලට ආවේ - සුජාතා අත්තනායක
හිරුද මුවාවී - ප්‍රියා සූරියසේන
මුව හසරැලි සාගරේ - ක්ලැරන්ස් විජේවර්ධන
රසිකයන් ආදරයෙන් වැලඳගත් එතුමාගේ ගී අතර කිහිපයක්. 38 වැනි වියේ ජීවිතයෙන් සමුගෙන යන විට උපාලි ධනවලවිතානයන් 100කට ආසන්න චිත්‍රපට සංඛ්‍යාවක ගීත රචනා කර තිබිණි.
අරුණ වලා දුහුල ඉරා (රක්තා)
කඳුළු පැතුම් (තණ ගිරවි)
රෑන් අතරේ මළ හිරුගේ (කඩවුණු පොරොන්දුව)
වළා ඉමෙන් එහා (පෙති ගෝමර)
සමුදුරු හතකින් (මිහිඳුම් සිහින)
රන් අකුරින් ලියවෙන්න පුතේ (රණ දෙරණ)
නාඬන්න තරු පොකුරේ (රෝසි)
දියකිඳුරිය සේ සාගරේ, සාගර ළවැල්ලේ (ඔබටයි ප්‍රිය ආදරේ)
සක්වළ එතෙරට ඇසෙනා (ගෙදර බුදුන් අම්මා)
සිහින අහසේ වසන්තේ (නැවැත හමුවෙමු) ඔහු ලියූ චිත්‍රපට ගී අතුරින් කිහිපයක්.
සිහින අහසේ වසන්තේ ගීතය ලියා ඇත්තේ දයාසේන ගුණසිංහයන් බවට වරෙක කියැවුණු අතර ඒ සම්බන්ධයෙන් දැඩි මතභේදයක් පැනනැගුණත් 1992 ජනවාරියේ නිකුත් වූ ‘තිරතරු’ සිනමා පුවත්පතට “මේ ගීතය ලියුවේ මම නෙවෙයි උපාලි" යැයි දයාසේන ගුණසිංහයන් කර තිබූ ප්‍රකාශයක් හමුවීම නිසා උපාලි ධනවලවිතානයන්ට සාධාරණය ඉටුවුණා. මේකට ප්‍රධාන හේතුවවන්නට ඇත්තේ ඔහු ජීවතුන් අතර සිටියදී ප්‍රකාශයට පත් කළ ඔහුගේ ගීත නිර්මාණ එකතුව වූ ‘උදුම්බරා’ කෘතියට මේ ගීතය ඇතුළත්ව තිබුණේ නොතිබීමත්, ‘උදුම්බරා’ පළ වූයේත් නැවැත හමුවෙමු ච්ත්‍රපටිය තිරගත වූයේත් එකම වර්ෂයකදී වීමත් නිසා වෙන්නත් පුළුවන්.
මීට අමතරව උපාලි ධනවලවිතානයන් චිත්‍රපටි තිර රචනාවන් හා දෙබස් රචනය පවා ලියා තිබෙනවා. "ඔබටයි ප්‍රියේ ආදරේ" චිත්‍රපටයේ තිර රචනය එතුමාගේ. ‘සිංහරාජයෝ’ චිත්‍රපටයේ තිර කතාව හා දෙබස් ඔහු රචනා කළත් එය නිෂ්පාදනය වූයේ නැහැ. එතුමාගේ අකල් වියොවින් බිරිය ශ්‍රී මතී, දූ දරුවන් වන නිරූපමා, තාරකා සහ දුල්ෂාන් ඇතුළු සමීපතමයන් පමණක් නොව ඔහු ලියූ ගී රස විඳි රසික ප්‍රජාව අදටත් කම්පා වෙනවා.
Comments