හෙට දවසේ අප දෙදෙනා
- මාධව විජේසේකර
- May 6, 2017
- 2 min read


හෙට දවසේ අප දෙදෙනා අද වාගෙම හමුවිය යුතුවේ අද දවසේ මවෙත ගෙනා මිහිර හෙටත් ගෙන ආ යුතු වේ
කිසි වෙනසක් නැති එකම දෙයක් ඇත එය මා හද රැදි ආදරයි මගෙ ජීවිතයම නෞකාවක් නම් එය ඔබ සුරකින සාගරයයි හෙට දවසේ.... අද සුපිපෙන මල හෙට නොපිපේවී ලෝකය දිවයයි වෙනස් වෙලා එලෙස වෙනස්‍වන ලොවෙහි අළුත්වන් ආදරයම මම ඉදිමි බලා හෙට දවසේ....
මේ ගීතයේ නිධාන කතාව ගැන බොහෝ දෙනා විවිධ අර්ථකතන දීලා තියෙනවා. ඒවා නිවැරදි කරන්න ඕන කියලා හිතුණ නිසා මේ ලිපිය ලියන්නේ.
ප්‍රියා සූරියසේනයන් දවසක් යනවා ගුවන්විදුලි සංස්ථාවට. එතුමාට සරල ගී වැඩසටහනක් තියෙනවා තව දවස් දෙකකින්. ගීතයක් ලියවා ගන්න ඕන වෙලා තියෙනවා. ලියව ගන්න කෙනෙක් හොයා ගන්න ඕනේ. ඉතින් එවකට ගුවන්විදුලියේ වෙළඳ සේවයේ නිවේදකයෙක් ලෙස කටයුතු කල එල්මෝ ප්‍රනාන්දු මහතාව අපේ කතානායකයාට මුණ ගැහෙනවා. ප්‍රියා සූරියසේනයන්ගේ ගම්පළාත නාත්තණ්ඩිය. එල්මෝ ප්‍රනාන්දු මහතා හලාවත. ඒ නිසා මේ දෙදෙනා අතර දැන හැඳුනුම්කමක් තිබුණා. තමන්ගේ අවශ්‍යතාව කිව්වාම, එල්මෝ ප්‍රනාන්දු මහතා "ඉන්න මම කෙනෙක් හොයලා දෙන්න මෙහේ වැඩකරන කෙනෙක් ඉන්නවා කතා කරල දෙන්නම්" කියලා ප්‍රේමකීර්ති ද අල්විස් මහතාට ගුවන් විදුලියේ Reception එකට එන්න කියලා පණිවිඩයක් අරිනවා.
Reception එකට පැමිණි ප්‍රේමකීර්ති ද අල්විස් මහතාට "මල්ලි, මෙයා මම හොඳට දන්න කියන කෙනෙක් නාත්තණ්ඩියේ. මම හලාවත. මෙයාට මේ සරල ගි වැඩසටහනක් තියෙනවා තව දවස් දෙකකින්. මෙයාට ඉක්මනින් ම ගීතයක් ලියලා දෙන්න" කියලා කියනවා. එවිටම ප්‍රේමකීර්ති මහතා සාක්කුවෙන් තුණ්ඩු කෑල්ලක් අරගෙන Reception එකේ මේසය මත තබා මේ ගීතයේ මුල් පද ටික ලියනවා. "ඉතිරි ටික ලියලා හෙට දෙන්නම්" කියලා එතුමා පිට වී යනවා.
ඉතින් ගීතයේ ඉතිරි පදවැල් ටික ලියාගන්න එතුමා පහුවදා ආපහු නාත්තණ්ඩියේ ඉඳන් ගුවන්විදුලියට එනවා. ආපහු ප්‍රේමකීර්ති මහතා මුණ ගැහෙනවා Reception එක ළඟ දී. "කෝ අර කොල කෑල්ල ගෙනාවද?" "ඔව් මේ තියෙනවා" යි කියමින් සූරසේනයන් අතින් ඒ කොල කෑල්ල ප්‍රේමකීර්ති මහතා අතට ලැබෙනවා. ඉන්පසු අර Reception එකේ මේසය මත තබා මේ ගීතයේ ඉතිරි පද ටික ලියනවා. "දැන් මේකට තාලයක් දාගන්න පුළුවන් ද?" "ප්‍රශ්නයක් නෑ. මට තාලයක් දාගන්න පුළුවන්" කියා ප්‍රියා සූරියසේනයන් තනුවක් යොදා මේ ගීතය ගයනවා. ඉතින් ඔන්න ඕකයි ඇත්ත කතාව.
බොහෝ දෙනා මෙහි වරදවා වටහා ගත් කාරණේ තමයි "අද දවසේ මවෙත ගෙනා මිහිර හෙටත් ගෙන ආ යුතු වේ." කිව්වාම "ප්‍රේමකීර්ති මහතා ප්‍රියා සූරියසේනයන්ගෙන් මත්පැන් බෝතලයක් අරගෙන හෙට ආපහු එන්න කිව්වා" කියන එකයි. නමුත් ඇත්තටම එහෙම දෙයක් එතනින් අදහස් නොවන බවත් ඉන් කියවෙන්නේ පෙම්වතුන් යුවලක් ගැනත් ප්‍රියා සූරියසේනයන් රූපවාහිනී වැඩසටහනක දී ප්‍රකාශ කලා. ඒ නිසා මේ වැරදි වැටහීම දැන්වත් නිවැරදි කරගන්න එක මම හිතනවා කාලෝචිතයි කියලා.
Comments