මල්සරා බැල්ම හෙලා
- මාධව විජේසේකර
- May 6, 2017
- 2 min read

මල්සරා බැල්ම හෙලා මගේ හිතට කොදුරණවා රන්මලී දැක්කගමන් මල් වාරම් කියවෙනවා තිට බැන්ද සෙනේ මං පවසන්නෙම්ද කොයි ලෙසින් රන්මලී.........
තිස්සෙම ගම සුවද කරන් පිපුණා කිණිහිරිය මලී විස්තර දුටුවද බඹරුනි පිපිලා දොඹ මුතු කැකුළී
ලස්සන හුරුබූටිකමට දිළෙනා දෑතින් ලතැවී ඉස්සර කළ පිනට මගේ පිපුණා බල ළද කොමලී...//
ලස්සන ගුණ කණක බරන
සවන් පැළඳි පුල්ලි මලී
ඇස් නිලුපුල් පෙති ගෝමර
ගෙලවට දිලි රුවන්මලී
කොස් උයනේ මගේ පැලට
එළිය දෙන්න පිපුණ මලී
වැස්ස ළඟයි බක් මාසේ
මා සනසාපන් කොමලී...//
මේක නියම Love Song එකක්. බැද්දගේ මහත්තයා කවදාවත් ජන නාද මාලාව මත යැපිලා නිර්මාණ කලේ නැහැ. ඒවායේ ආරය අරගෙන ඒ අනුව තමා එහාට මෙහාට කරමින් අලූත් නිර්මාණ බිහිකලේ. සාමාන්‍යයෙන් අපේ ජන නාද මාලා ගත්තාම ස්වර 5කට වඩා පරාසයක විහිදෙන්නේ නෑ. ස ස්වරයේ සිට ප ස්වරය දක්වා යම් සීමා සහිත ස්වභාවයක් තියෙන්නේ. අනිත් එක සමහර අවස්ථාවල එන ස්වර හින්දුස්ථානී සංගීතයේ එන ශුද්ධ ස්වරයවත් කෝමල ස්වරයවත් නෙමෙයි. ඊට අතරමැද ස්වරයක් එන අවස්ථාවල් පවා තියෙනවා. ඉතින් ඒ නාද මාලාව ඇතුළේ හිර වුණා නම් නිර්මාණ කරන්න අමාරුයි. නමුත් මේ ගීතයේ ස්වර 12ක විතර පරාසයක තියෙනවා. මේ ගීතයට මූලික ආකෘතිය හැටියට අරගෙන තියෙන්නේ රබන් සෙල්ලමේ එන දෝං තකට කියන රබන් පෙරළුමේ එන කවි.
ඇත්තටම මේ ගීතයේ අපේ කෘෂිකාර්මික කාල සටහනත් අඩංගු වෙනවා. ඒ කාලසටහනත් එක්ක ගැමි ප්‍රේමය බද්ධවෙන හැටි හරිම අපූරුයි. "වැස්ස ළඟයි බක් මාසේ මා සනසාපන් කොමලී" කිව්වාම ඒකෙන් අදහස් කරන්නේ, මාර්තු මාසේ වෙනකොට මහ කන්නයේ ගොයම් කපලා ඉවර කෙරෙනවා. ඊට පස්සේ සිංහල අලුත් අවුරුද්දට ලෑස්තිවෙනවා. ඔය කාලේ තමයි මල්වාරම් කවි කියන්නේ, නටන්නේ ඔක්කෝම කරන්නේ. ඒ අතරේ තමා රන්මලී එක්ක මේ ගීතය කියන ගොවි තරුණයා යාළුවෙන්න හදන්නේ. බක් මාසයේ එහෙම නැත්තන් අප්‍රේල් මාසයේ යාළු වුණාම මැයි මාසයේ හොඳ නැකැත් එනවා විවාහයට. ඒ කාලයේ වැස්ස වැඩීයිනේ නැකැත් වැඩි නිසා. ඒක තමයි අන්තිම පද දෙකෙන් කියවෙන්නේ. ගොවි තරුණයෙක් කියලා අදහස එන්නේ, "කොස් උයනේ මගේ පැලට" කියන පදයෙන්.
Comments