කන්දේ ලන්දේ
- මාධව විජේසේකර
- May 6, 2017
- 2 min read

කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මානේ මන බැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම්මානේ //
වෙල්යායේ දොල පාරේ නිල්වන් ජලාසේ ගං තීරේ ගුරුපාරේ සිරි දෙව් සිනාසේ // ඒ මව් තුරුල්ලේ සුරූපී යොවුන් ලාලනී සංකේත වු වාසනාවේ ගම්මානේ කන්දේ ලන්දේ... ඇල් හේනේ රුක් සෙවනේ ගෙපැලේ විහාරේ පූජාවේ බෙර නාදේ ගැමි ගීත රාවේ // මා පුංචි කාලේ ලැබු ආදරේ සුන්දරත්වේ යයිදො නවෝදෙන් මැකීලා ගම්මානේ කන්දේ ලන්දේ...
මේ ගීතය අපි ඕනෑ තරම් අහලා ඇති. නමුත් නිකමට වගේ හරි මේ මොකක් ගැනද කියන්නේ කියලා කල්පනා කරලා බැලුවද ? ඇත්තටම මේ ගීතයෙන් අපිට කියන්නේ, ගමක් නාගරීකරණය වෙලා යන එක ගැන. බැද්දගේ ශූරීන් තමන්ගේ ගමට වෙන්න යන දේ ගැන ඉතාම සංවේදී සහ සංවේගජනක ආකාරයෙන් ප්‍රකාශ කරන්නේ.
පළවෙනි අන්තරා කොටසින් (1st Verse) එකෙන් කියන්නේ වෙල්යාය, දොල පාර, වැව, ගඟ, ගුරුපාර වගේ ගමක තියෙන ස්වාභාවික සම්පත්. මේවා ගමක තියෙන වාසනා සංකේත හැටියටයි එතුමා හඳුන්වන්නේ.
දෙවැනි අන්තරා කොටසින් (2nd Verse) එකෙන් කියන්නේ ඇල් හේන, විහාරය, දේවාලය බෙර නාදය, ගැමි ගිත රාවය වගේ ගැමියාගේ අභිචාර විධි ගැන. ඔවුන්ගේ ගායනය, නර්තනය, තොවිල් පවිල්, ඇදහිලි විශ්වාස ගැන.
අන්තිම පදයෙන් තමයි මේ ඔක්කෝම නැතිවෙලා යනවා කියලා තියෙන්නේ. "යයිදෝ නවෝදෙන් මැකීලා ගම්මානේ". අපේ බැද්දගේ ශූරීන්ට අද ඇත්තටම තමන්ගේ ඒ හොරණ, උඩුවර ගම්පියසට වෙලා තියෙන දේ දකින්න වෙලා තියෙනවා. අද ඇත්තටම ඒ ගම ගොඩක්ම නාගරීකරණය වෙලා තියෙන්නේ. බැද්දගේ ශූරීන් කියනවා ගමේ එක තැනකට ගියාම සිරී පාදේ පෙණුනා කියලා. නමුත් අද එතන තියෙන්නේ බිල්ඩිමක්. ඒ නිසා දැන් එතනට සිරී පාදේ පේන්නේ නැහැ.
ඉතින් ගමක් දියුණුවෙන එක ගැන බැද්දගේ මහතා විරෝධාකල්පයක් මෙතන කියන්නේ නැහැ. ගමක් දියුණුවෙන්න ඕන. නමුත් ඒක අපිට දරන්න පුළුවන් විදිහේ සංවර්ධනයක් වෙන්න ඕන කියලා තමයි මේ ගීතයෙන් අපිට දෙන පණිවිඩේ. ඒකට කියන්නේ "ධරණීය සංවර්ධනය" කියලා.
බැද්දගේ මහතාත් වාග්ගේයකාරයෙක්. ඒ කියන්නේ පද රචනය, තනුව සහ ගායනය තුනම එතුමාගේමයි. එවන් අය බොහෝම දුර්ලභයි. ලංකාවේ එවැනි කලාකරුවන් ගත්තත් බොහෝම ටික දෙනයි. එතුමාගේ ගීතවල විශේෂත්වය ජනකවි මත කිසිම ගීතයක් පදනම් වෙලා නැහැ. ජනකවි වල සාරය, එහෙම නැත්නම් ජනශ්‍රැතිය අරගෙන ඒකෙන් වෙනස් ම නිර්මාණයක් කරනවා. එතුමාගේ ම වචන වලින් කියලා තියෙනවා වරක් "මම කවදාවත් සිංදු හදනකොට කවදාවත් ජනගීය අරගෙන ඒක උඩ තියාගෙන හදන්නේ නැහැ. සිංදුව හදලා ඉවරවුණාට පස්සේ මම බලනවා මොන ජනකවිය ද මේක ඇතුළේ තියෙන්නේ" කියලා.
Comments