සැදෑ අඳුර ලොව ගලන වෙලාවට
- May 5, 2017
- 2 min read

සැදෑ අඳුර ලොව ගලන වෙලාවට කවුළු පියන්පත් වැසෙන වෙලාවට
දහසක් දොම්නස් සිහින පවුරු මැද තනිවුන ඔබෙ සුසුමන් සෙමින් විත් මගෙ සවනත පාරයි...// තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද සරන විටදි රැය ගෙවෙන තුරාවට...// මහඳ සෙනෙහෙ ඔරුවේ නැගී ඔබ එතෙර වන්න නිඹදේ - මුළු ලොව වෙත එතෙර වන්න නිඹදේ... සැදෑ අඳුර ලොව...// නිමල පැතුම් සපුරාගෙන හද තුල සිහින ලොවින් නෙතු හැරෙන වෙලාවට...// අරුණළු නැගෙන පැයේ හසුනක් දෙමි ජීවින මල් ගොමුවේ - ඔබෙ ආදර ජීවන මල් ගොමුවේ...// සැදෑ අඳුර ලොව...//
සෝමතිලක ජයමහ ශූරීන්ගේ, අයිකන ගීතය මෙය යැයි කිව්වොත් මම හිතන්නේ බොහෝ දෙනා එයට විරුද්ධ වෙන එකක් නැහැ. අදටත් "සෝමතිලක ජයමහ" කියන නම ඇහෙනකොටම අපිට මතක් වෙන්නේ මේ ගීතය. මම කලිනුත් ලිපියක ලිව්වා එතුමා වාක්ගේයකාරයෙක් කියලා. ඒ කියන්නේ, පද රචනය, තනු නිර්මාණය හා ගායනය එකම පුද්ගලයෙක් විසින් කරන එකනේ. ඉතින් මේකත් එවැනිම ගීතයක්. මේක මෙතුමා ලියපු දෙවැනි ගීතය. පළවෙනි එක තමා "සුනිල්වන් නුවන් යුග" ගීතය. මේ ගීතයට නිමිත්ත පහල වුණේ හරිම අපූරු විදියට.
මේ ගීතය රචනා කෙරෙන්නෙ 1960 දශකයේ අග භාගයේ. ඒ වෙනකොට එතුමා ජීවත්ව හිටියේ නුගේගොඩ පාර අයිනේම තිබුණ බෝඩිමක. ඒ කාලයේ ඔහු සංගීත අධ්‍යාපනය ලබමින් සිටියා. සිංහල අවුරුදු කාලය ලඟා වන විට බෝඩිමේ සිටි අනිත් අය ගම් බිම වලට ගියත් ඔහුට නිවෙසට යන්න බැරි වෙනවා. ඒ, හරියටම අප්‍රේල් 14 දා ඔහුගේ සංගීත ගුරුවරයකු වූ පී. ඩන්ස්ටන් ද සිල්වා මහතාගේ වැඩසටහනකට සහභාගී වීමට සිදුවීම නිසා.
කිසිවෙක් නැති බෝඩිමේ ඔහුට පාළුව තනිකම දැනුනා. සවස් යාමයේ ඔහු පාර අද්දරට ගියා. පාර අයිනේ තිබෙනවා අඹ ගහක්. ඔහු එතැන හිටගෙන බස් යන එන හැටි බලා ඉන්නවා. එතැනම පාරෙන් පල්ලෙහා බෑවුමකට වෙන්න ගෙයක් තිබුණා. ඒ ගෙදර නැවතිලා හිටියේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන ගැහැණු ළමයි පිරිසක්. ඔවුන් නිවසේ ජනෙල් වහනවා කළුවර වැටීගෙන එන නිසා. ඔහු පවසන පරිදි ඒ වෙලාවේම ඔහුගේ සිතට පදවැලක් මතක් වෙනවා. "සැදෑ අඳුර ලොව ගලන වෙලාවට - කවුළු පියන් පත් වැහෙන වෙලාවට". ඔහු පදවැල ප්‍රේමයට, විරහ වේදනාවට සම්බන්ධ කරනවා. ඔහු ඒ වෙනකොට විවාහ වෙලාවත් පෙම්වතකු වෙලාවත් තිබුනේ නැහැ. නමුත් ඔහු ඉතා අලංකාර ලෙස එම පදවැල ආදරයට, විරහ වේදනාවට සම්බන්ධ වන අයුරින් රචනා කරනවා. මේ ගීතය සම්පූර්ණ කරන්න එතුමාට මාස දෙකක් විතර ගතවෙනවා.
මේ අයුරින් රචනා කරපු ගීතය ඔහු 1969 වසරේ අග භාගයේදී ගුවන් විදුලි වැඩසටහනකින් ගායනා කරනවා. 1971 වසරේ රටපුරා තිබුණු භීෂණ තත්වය හේතුවෙන් හවසට තිබුනේ ඉතා ගුප්ත බවක්. ඒ නිසාම ගුවන් විදුලියෙන් ඔහුගේ ගීතය නිතරම සවස් කාලයේ ප්‍රචාරය කළා. ඔහුගේ ගීතයට ඒ කාලයේ හොඳ ජනප්‍රියත්වයක් ලැබුනා. මේ ගීතය ප්‍රචාරය වෙච්ච කාලේ ඩෝල්ටන් අල්විස් මහතා දවසක් ජයමහ ශූරීන්ට මුණ ගැසිලා කියනවා, "ගුවන් විදුලි වැඩසටහනකට පැමිණි ග්‍රන්ථ රචකයෙකුත් මේ ගීතය ගැන ප්‍රසංශාත්මක ව කතා කලා" කියලා.
තව අපූරු කතාවක් තියෙනවා. ප්‍රවීණ ගී පද රචක සුනිල් සරත් පෙරේරා මහතා වරක් ශල්‍යකර්මයක් සඳහා රෝහල්ගත වූ විට එතුමාගේ අල්ලපු ඇඳේ හිටපු රෝගියා ඉතාමත් අසාධ්‍යව ඉඳලා තියෙන්නේ. ඔහුගේ ජීවිතය ගැන වෛද්‍යවරු බලාපොරොත්තු අතහැරලා ඉඳලා තියෙන්නේ. එදා හවස මේ රෝගියා මේ ගීතය ගායනා කළාලු. පහුවදා බලද්දී ටිකට් කපාගෙන ගිහිල්ලා!!! ඒ තරම් ජීව ගුණයක් මේ ගීතයේ තිබෙනවා කියලා මට හිතෙනවා.
ඉතින් මේකේ තනුවත් මෙතුමාගේමයි. මේක සන්ධ්‍යා කාලයේ ගායනා කරන නිසාම යමන් කළ්‍යාණි රාගයේ ආභාෂය එතුමා යොදාගෙන තියෙනවා. යමන් කළ්‍යාණි රාගයෙන් නිර්මාණය කල ගීත ගැන කෙටි හැඳින්වීමක් මම හදේ කොතැනක හෝ ගීතය ගැන ලියපු ලිපියේ පල කලා. නමුත් මම මේ ලිපියෙත් එවැනි ගීත 4ක් පල කරනවා.






































Comments