top of page

පොඩි දුවගේ සිනා වැලයි

  • May 5, 2017
  • 2 min read

හඬ : සෝමතිලක ජයමහ

පද : මහාචාර්ය සුනිල් ආරියරත්න

තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ

පොඩි දුවගේ සිනා වැලයි පොඩි පුතුගේ කතා පෙලයි ප්‍රිය බිරිදගෙ සෙනේ විලයි මගේ නිවන මගේ පැල්පතයි

කටු මැටි ගැ බිත්ති පුරා පළිඟු මැණික් එළිය දිලේ ගොම මැටි ගෑ ගෙබිම මගේ පියවිලි බුමුතුරු ව‍‍ගේ...// පොඩි දුවගේ සිනා වැලයි... ලබන නමුත් දුක් පීඩා කූඩු වුනොත් පුංචි පැලේ අඹුදරුවන් අතර තුරේ මට නිම්නැති සුවය දැනේ...// පොඩි දුවගේ සිනා වැලයි...

සෝමතිලක ජයමහ ශූරීන්ට ගුවන් විදුලි සරල ගී වැඩසටහනක් සඳහා ගීතයක් ඕනෑ කරනවා. ඒ සඳහා එතුමා මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගෙන් ඉල්ලීමක් කරනවා. සති තුනකට පසු එතුමාට පණිවිඩයක් එනවා "ගීතය හදලා ඉවරයි. ගෙදරට ගිහින් අරගන්න" කියලා. ඉතින් මහාචාර්යතුමාගේ නිවසට ගිහින් පද මාලාව අරන් බැලුවාම ජයමහ ශූරීන්ට පුදුම හිතෙනවා මේ වගේ ගීතයක් වික්ටර් රත්නායකයන් වැනි අයෙකුට නොදී එතුමාට දීපු එක. මොකද ඒ වකවානුවේ වික්ටර් රත්නායකයන් සහ සුනිල් ආරියරත්නයන් අතර විශාල සබැඳියාවක් තිබුණ නිසා. වචන ටික දැක්ක ගමන් ම ජයමහ ශූරීන්ට හිතෙනවා "අනිවාර්යයෙන් ම මේ ගීතය ජනප්‍රිය වෙනවාමයි" කියලා. ඒ වෙනකොට තනුව දාලත් නෑ. වචන ටික දැකපු හැටියේ තමයි මේක හිතෙන්නේ.


ඉතින් තනුව දාන්න බාර දුන්නේ ආචාර්ය රෝහණ වීරසිංහයන්ට. පද මාලාව දෙනකොට රෝහණ වීරසිංහයන්ට, ජයමහ ශූරීන් කියනවා පුළුවන්නම් මේකට විරිඳු ආකෘතියේ තනුවක් නිර්මාණය කරන්න කියලා. ඒක වචන දැක්කාම එතුමාට ආපු අදහසක්. ඒ නිසායි එහෙම කියලා තියෙන්නේ. ඉතින් අවසානයේ දී විරිඳු ආකෘතියේ තනුවක් එතුමා යොදනවා. එවැනි තනුවක් යොදන්න ප්‍රධාන හේතුවක් තමයි මෙහි පද මාලාවේ තියෙන මාත්‍රා 24 ස්වරූපය. ඒක විරිඳු ගායනාවල ලක්ෂණයක්. පැරකුම්බා සිරිත වැනි කාව්‍ය ග්‍රන්ථවලින් තමා මේක ජනප්‍රිය වුණේ. ඉතින් ජයමහ ශූරින්ටත් ඒක දැනුණ හැටි අපූරුයි නේද?


අනිත එක තමා මෙහි අන්තිමට තියෙන්නේ. මට "නිම්නැති" සුවය දැනේ කියලා. මුලදි තිබිලා තියෙන්නේ, මට "ලොව්තුරු" සුවය දැනේ කියලා. ඒ කාලේ ගුවන් විදුලියට ගීත ගයන්න ඉස්සෙල්ලා පිටපත් සම්පාදකයෙකුගේ පරීක්ෂාවට ලක් කරලා අනුමත කරාට පස්සේ තමයි ගයන්නේ. නමුත් මෙතන මේ පවුල් සංස්ථාවක් ගැන කියවෙන ගීතයකට ලොව්තුරු වචනේ ගැලපෙන්නේ නෑ කියලා අනුමත කරන්න බැහැ කියලා. පස්සේ තමයි අපි දැන් අහන විදියට වෙනස් කරලා ගයලා තියෙන්නේ. හැබැයි ලස්සනම වැඩේ මේකයි. "ලොව්තුරු" කියන වචනේ ගැලපෙන්නේ නෑ කිව්ව ඒ පිටපත් සම්පාදකවරයාට "මගේ නිවන මගේ පැල්පතයි" කියන එක වැරදි කියලා හිතුණේ නැති එකයි. ලොව්තුරු කියන්න බැරිනම් නිවන කියලත් යොදන්න බැහැනේ ඔය කියන විදියට...!!!!

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page