top of page
Search

රකිනා දිවි සිට වග වැලහින්නේ - දඬුබස්නාමානය (1995)

  • මාධව විජේසේකර
  • May 4, 2017
  • 2 min read

හඬ : අමරසිරි පීරිස්

හඬ : සමන්ත පෙරේරා

තනුව : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

රකිනා දිවි සිට වග වැලහින්නේ

බැවිනා කිරිපොවමින් ඔහු යන්නේ

ලකුණා පෙරපිං නැති බව දන්නේ

රැක්නා දිවි මෙම ලෙස කුමරුන්නේ


සදා පුරය කරනෙමිනි කැලේයා

කියා වැදුනි මහ සෙනග කැලේයා

සදා සෙනග ගල් කරපු කැලේයා

එදා පසිඳු විය දෙවියො කැලේයා

රකිනා දිවි සිය....



මේ ඇවිල්ලා අපේ ජනශ්‍රැතියේ එන කෝල්මුර කවි සහ යාදිනි කවි ඒ ආකාරයෙන්ම ගීතයට යොදාගත් ඉතාම දුර්ලභ අවස්ථාවක්. ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කල දඬුබස්නාමානය ටෙලිනාට්‍යයේ තේමා ගීතයට ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් එහි සිද්ධවෙන කතා තේමාව ඒ අයුරින්ම ගීතයෙන් නිරූපණය වන ලෙස මේ කෝල්මුර කවි යොදාගෙන තිබීම විශ්මයට කාරණාවක්. මොකද මේ කෝල්මුර කවි දළදා වහන්සේ වෙනුවෙන් තේවාව අවස්ථාවේදී ඇතුළ් මාලිගාවේ ඉතාමත්ම රහසිගතව ගයන ජන ගායනාවක්. ඒක සාමාන්‍ය ජනතාවට කවදාවත් අහන්න ලැබෙන්නේ නෑ. මේ කවි දන්නෙත් දළදා මාලිගාවේ ඉන්න තේවාකරුවන් ඇතුළු තවත් සුළු පිරිසක් පමණයි. ඉතින් මේ ටෙලිනාට්‍යය විකාශය වෙන්න පටන් ගත්ත කාලේ දී කේමදාසයන්ට ලිපියක් එනවා දළදා මාළිගාවට සම්බන්ධ අයෙකුගෙන්. "ඔබ කොහොමද මේ කවි හොයාගත්තේ. මේක හරිම රහසිගත කවි වර්ගයක්. මේ හැඩරුව ඔබේ නිර්මාණයේ තිබෙනවා" යනුවෙන් එහි සඳහන්ව තිබුණා.


ඉතින් දඬුබස්නාමානය ටෙලිනාට්‍යය බලපු අයට මේ කතාව මතක ඇති. කමල් අද්දරආරච්චි නිරූපණය කලේ රනා කියන චරිතය. ඔහු මේ කතාවේ දී තමන්ගේ ජීවිතය බේරාගන්න කැලේට ගිහින් හැංඟෙනවා. එහෙම ගිය ඔහු පෝෂණය වෙන්නේ වනයෙන්. "රකිනා දිවි සිට වගවැලහින්නේ. බැවිනා කිරිපොවමින් ඔහු යන්නේ." ඒකෙන් බැලූ බැල්මට අදහස්වෙන්නේ වැලහින්නකගෙන් කිරි බිව්වා කියන එකයි. නමුත් කතාවේ හැටියට ඒකේ තේරුම, වනයෙන්ම ඔහු පෝෂණය වුණා කියන එකයි.


හොඳට මතක තියාගන්න. මේ කෝල්මුර කවිය එලෙසින්මයි යොදාගෙන තියෙන්නේ. කතා වස්තුවට එය අපූරුවට ගැලපිලා තියෙනවා. එහෙම නැතුව මේකේ පද රචනයක් ටෙලිනාට්‍යය වෙනුවෙන් අමුතුවෙන් කරලා නැහැ.


"ලකුණා පෙර පින් නැති බව දන්නේ. රැක්නා දිවි මෙම ලෙස කුමරුන්නේ." ඒ කියන්නේ, රනා ආපහු ගමට ආවොත් ආරච්චිල ඇතුළු පිරිසෙන් බේරුමක් නැහැ. ඔහුව මරන්නත් ඉඩ තියෙනවා. ජීවත් වෙන්න පෙර පින් නැහැ. ඒ නිසා වනයටම වෙලා ඉන්නවා. ඒකෙන් ජීවිතය ආරක්ෂා වෙනවා.


දෙවැනි කවියෙන් කියවෙන්නේ, ඔහු දිගු කාලයක් කැලේ ඉන්න නිසාම ගමේ සෙනග ඔහුට බය වෙනවා. මෙතන "එදා පසිඳු විය දෙවියො කැලේයා" කියන්නේ ඔහු යම් පෞරුෂත්වයක් ගොඩ නගා ගත්තා කියන එකයි. ඇත්තටම රනා කැලේ වැදුණාට පස්සේ රනාගේ නම අහනකොටත් මිනිස්සු බය වෙන තැනට ආවානේ. ඔන්න ඕකයි මේ කවි දෙකෙන් ටෙලිනාට්‍යයේ කතාව කියවෙන්නේ. දළදා මාලිගාවේ මේ කවි කියවෙන්නේ පූජනීය අරමුණින්. නමුත් මම මෙතන පැහැදිලි කරලා තියෙන්නේ, කවි දෙකම කතා තේමාවට ගැලපිලා තියෙන අපූර්වත්වය ගැනයි.


ඉතින් ආචාර්ය කේමදාසයන් මෙතන යොදා ඇති තනුව ගැනත් විශේෂයෙන්ම කියන්න ඕන. සාමාන්‍යයෙන් අපේ ජන සංගීත රටාවල ඉතාම සීමිත ස්වර සංඛ්‍යාවක් තියෙන්නේ. ඒවා වැඩි දියුණු කරන්න යන්නේ නැතිව, මේ කතා තේමාවට අදාල වන බිය, සංත්‍රාසය, ආරක්ෂාව, රැකවරණය හැඟීම් උද්දීපනය වන ආකාරයට, ධ්වනි ගුණයක් සහිත සංගීත ආකෘතියක් එතුමා නිර්මාණය කරලා තියෙනවා. ඒක ඇත්තටම විශ්ව කර්මයක්. දළදා හාමුදුරුවන්ට පූජා පවත්වන කවි වලින්, හාත්පසින් වෙනස්ම හැඟීමක් ඇතිවන ආකාරයට නිර්මාණය කරලා තියෙනවා. මේ ගීතය අමරසිරි පීරිස් මහතා සමග ගයන්නේ සමන්ත පෙරේරා මහතා බවත් මතක් කරන්න කැමතියි.


ප. ලි.

මෙම කවිවල ඉතිහාසය රාවණා රජුගේ යුගය දක්වා ඇදියන බව සැලකෙනවා. කොහොඹා යක් කංකාරිය, කඩවල කංකාරිය වැනි ශන්තිකර්ම වලට ද පාදක ව ඇත්තේ මෙම කොල්මුර යැදිලි කවි යැයි පොත පතෙහි සදහන් වෙනවා. කෝල්මුර යනු දේව යැදිලි කවි විශේෂයක් ලෙස ජනයා ඇසුරින්ම වසර ගණනක් තිස්සේ පරිණාමයට ලක්වෙලා තිබෙනවා.


තවත් ඉතිහාසඥයින් පිරිසක් සදහන් කරන්නේ කෝල්මුර කවි විකාශය වි ඇත්තේ කාවල් මුරෛ යන දෙමල වදනින් බවයි. එහි අර්ථය වනුයේ ආරක්ෂක ගිතිකා/සෙත්කවි යන්නයි. ඒ අනුව කෝල්මුර කවි දක්ෂීණ භාරතිය සම්ප්‍රදායන්ගෙන් පැවත එන බව ද සැලකිය හැක.

Comentarios


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page