රුදුරු තුරු වදුලේ
- මාධව විජේසේකර
- May 4, 2017
- 2 min read



රුදුරු තුරු වදුලේ තියුණු කටු අතරේ දිළෙන සියුමැලියේ ඔබයි ජීවන සුවඳ දෙන්නේ රෝස කුසුම මගේ..
මහදේ.. රන් සුමුඟේ ඔබ තබනා නිරන්තරේ.. රැකගනිමි පුබුදුවලා සුවඳ විඳිමින් ඉඳිමි සැමදා දෑස වැසෙන තුරා.. මිහිරියි.. රූසිරියි.. මිහිරේ.. ජනණියේ සිත සැනසේ ඔබ දසුනේ මුදුමතී.. මුදුමතී.. සිත සැනසේ ඔබ දසුනේ..
මම පොඩි කාලයේ ඉතාම ආසාවෙන් අහපු ගීතයක්. මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා විසින් රචනා කරපු මේ ගීතය මහා පුදුමාකාර ගීතයක්. එය අඩංගු වුණේ එතුමාගේ කාලෝචිත ගී නමැති CD තැටියේ. මුලදි මේක අහනකොට මට වයස අවුරුදු 9ක් විතර ඇති. මට අදටත් හොඳට මතකයි මේ ගීතය මම CD Player එකේ 10 පාරකට වඩා ඇහුවා. මාව වශී වුණා තනුවට.
මෙහි පද රචනාව හරිම අපූරුයි. මේ රුද්‍ර වූ මහා සංසාරයේ මිනිස්සු මහා අනවරත අරගලයක යෙදිලා ඉන්නවා. මේක හරිම කටුක වනාන්තරයක්. ඒ වනයේ තියුණු කටු අතරේ එක මලක් තියෙනවා. ඒ මලෙන් අදහස් කෙරෙන්නේ ස්ත්‍රීත්වයයි. ප්‍රේමය කියලත් හිතන්න පුළුවන්. මිනිස්සු කටු අකුල පීරගෙන ඒක හොයාගෙන යනවා.
මෙතන රන් සුමුඟ කියන්නේ, රන් මංජුසාව කියන එකයි. ඒ රන් මංජුසාවේ අර මල එහෙම නැත්තන් තමන් ආදරය කරන තැනැත්තිය තැන්පත් කරලා, හැමදාම පරිස්සම් කරලා තියාගන්නම් කියලයි. ඒ කියන්නේ තමන් ආදරය කරන තැනැත්තියට හැමදාමත් ආදරය කරන්නම්. මට මේ ජීවිතය විඳින්න ඕන. ඔබ නැතුව බෑ කියන එකයි.
ඒ වගේම තවත් අපූරු වචනයක් තියෙනවා. ජනණියේ කියලා. ජනනී කියන්නේ අම්මාට. උත්පාදන ශක්තිය ගැනත් ඉන් කියවෙනවා. හුදු කායික ස්පර්ශය ගැන විතරක්ම නෙමෙයි. ආදරය විඳිමින් ඉදිරි පරපුරක් හැදීම ගැනත් අපූරුවට සංකේතවත් කරනවා.
මම දන්න විදියට මේකේ තනුව නම් රෝහණ වීරසිංහයන් යොදලා තියෙන්නේ. හැබැයි සුනිල් එදිරිසිංහයන් කියනවා මහාචාර්ය කාලෝ ෆොන්සේකා ලු මෙහි තනුව යොදලා තියෙන්නේ කියලා. එතුමාත් සුනිල් ශාන්තයන්ගෙන් සංගීතය හැදෑරු අයෙක් කියලා මම අහලා තියෙනවා. සමහර විට තනුවේ මුල් පදනම එතුමා යොදලා සංගීත සංයෝජනය රෝහණ වීරසිංහයන් යොදන්න ඇති.
කොහොම උනත් මේ ගීතය සුනිල් එදිරිසිංහයන්ගේ එතෙක් පැවති ගායන ශෛලිය හාත්පසින්ම වෙනස් කරපු ගීයක්. එතෙක් එතුමාගේ ඇසුණේ නැති හඬ පරාසය අපට ඇහුණ ගීතයක්. මෙහි ලස්සනම කතාව මේකයි. මේ ගීතය ප්‍රචාරය වෙන්න ගත්ත මුල් කාලයේදී දවසක් රූකාන්ත චන්ද්‍රලේඛා යුවල තමන්ගේ වාහනයෙන් යන ගමන් අහලා තියෙනවා ගුවන් විදුලියෙන්. ඔවුන්ට හිතාගන්න බැරි වුණාලු කවුද මේක ගයන්නේ කියලා. පස්සේ කවුද ගායකයා කියලා දැනගත්තාම ඔවුන් දෙදෙනාම, සුනිල් එදිරිසිංහයන් මුණ ගැසුණු වෙලාවක කිව්වාලු, "අපි දෙන්නාට හිතාගන්න බැරි වුණා මේක කියන්නේ සුනිල් අයියාමද කියලා".
Comentários