මලක් වුණේ ඇයි නුඹ මට
- මාධව විජේසේකර
- May 4, 2017
- 2 min read



මලක් වුණේ ඇයි නුඹ මට ජීවිතයට සුවද සලන.. එනමුදු සිප ගන්නට තහනම්.. විලක් වුණේ ඇයි නුඹ මට ජීවිතයට සිසිල ඉසින.. දිය දෝතක් බොන්නට තහනම්..
පහන් තාරකාවක් සේ ජීවිතයට මග කීවද ඒ එළියෙන් මහද පහන් දල්වනු කෙලෙසින්.. කියන්න.. සහන් ගීතිකාවක් සේ ජීවිතයේ ගිම් නිව්වද ඒ ගීයේ සොදුරු වදන් මුමුණනු කෙලෙසින්.. කියන්න..
සමන් අතාවුදහෙට්ටි මහතෙ අතින් ලියවෙන මේ ගීතය ඔහුගේ මිතුරෙකුගේ සත්‍ය අත්දැකීමක් පිලිබඳ කියවෙන ගීයක්. කාලයක් විදේශ රටක සේවය කරන සමන් මහතාගේ මිතුරෙක් ලංකාවට එන්නේ ඔහු විදේශගතව සිටියදී දැන හඳුනාගත් තරුණියක් විවාහ කරගැනීමේ අරමුණින්.
ලංකාවට ආපු මොහු තරුණියගේ පවුලේ අයත් දැනුවත් කරලා විවාහය සදහා දින වෙන් කරගන්නවා. ඔහොම ටික කාලයක් ඉන්නකොට මොහු හදිස්සියේම ඒ තරුණිය විවාහ නොකරගන්න තීරණය කරනවා. ඒකට හේතුව වෙලා තියෙන්නේ දෙදෙනාගේ අදහස් නොගැලපීමලු. ඇය ගොඩක් සාම්ප්‍රදායික විදිහේ තරුණියක්ලු. කොටින්ම කියනවානම් ඇය අතකින් වත් අල්ලනවට කැමති වෙලා නැහැලු. ඉතින් සමන් මහත්මයාගේ මිතුරට ලොකු දුකක් කලකිරීමක් ඇතිවෙලා තියෙනවා මේ ගැන. ඉතින් ඔහු ආපහු තමන් හිටපු රටටම යන්න තීරණය කරලා, ලංකාව අතහැරලා ආපහු හිටපු රටටම ගියාලු. මේ කතාව අහපු දැකපු සමන් අතාවුදහෙට්ටි මහතා අතින් මේ ගීතය ලියවුනාලු.
මේ ගීතයත් ලංකාවේ ගීතවල ශෛලිය වෙනස් කරපු අපූරු ගීතයක්. පද රචනය කරලා තියෙන්නේ, සමන් අතාවුදහෙට්ටි මහතා. තනුව නිර්මාණය කරලා තියෙන්නේ අපේ රටේ ප්‍රවීණ වයලින් වාදකයෙක් වන කළණි පෙරේරා මහතා. මේකේ තනුවේ නම් විශේෂතා කීපයක්ම තියෙනවා.
පළවෙනි හේතුව කළණි පෙරේරා මහතා මෙහි තනුව නිර්මාණය කරන්නේ වයලීනය පාදක කරගෙන නෙමෙයි. සාමාන්‍යයෙන් ලෝකයේ බොහෝ තනු නිර්මාපකයෝ ගීතයකට තනුවක් යොදන්නේ, තමන් වැඩිපුරම වාදනය කරන සංගීත භාණ්ඩය ඇසුරෙන්. උදාහරණයක් හැටියට ලංකාවේ ගත්තොත්, ක්ලැරන්ස් විජේවර්ධනයන් තනු නිර්මාණය කරලා තියෙන්නේ ගිටාරයෙන්. රූකාන්ත ගුණතිලක ගත්තොත් keyboard එකෙන් තමයි තනු නිර්මාණය කරන්නේ. මේ අයගේ ගීතවල chords වලින් ඒක පේනවා. නමුත් කළණි පෙරේරාවන් මේ තනුව නිර්මාණය කරලා තියෙන්නේ වයලීනය ප්‍රධාන සංගීත භාණ්ඩය කරලා නෙමෙයි.
දෙවැන්න මෙහි තනුව තනිකරම බටහිර සංගීත ආකෘතියට නිර්මාණය වී තිබීම. ස්පාඤ්ඤ ගීත ශෛලියක් මෙහි තිබෙනවා. Serenade වර්ගයේ ගීතයක් කිව්වොත් නිවැරදියි. Serenade එකක් කියලා කියන්නේ බටහිර සංගීතයේ යම්කිසි පුද්ගලයෙක් විසින් තමාගේ සිත්ගත් කාන්තාවක වෙනුවෙන්ම තමන්ගේ ආදරය ඇයට ඍජුවම ප්‍රකාශ කරන විශේෂ ගීත වර්ගයක්. මේක ගයන්නෙත්, ඇයගේ නිවසේ ජනේලයක් අසලට ටිකක් කළුවර වැටෙන වෙලාවට ගිහින් වීදි පහන් ආලෝකයක් එක්ක වාදන ශිල්පීන් කිහිපදෙනෙක් එක්ක ඇයට ඇසෙන්න. ඉතින් එවැනි ප්‍රේමණීය බවකුත් මේ තනුවේ තියෙනවා.
Comentários