නව දැලි හේනක
- මාධව විජේසේකර
- May 4, 2017
- 2 min read

නව දැලි හේනක පෑව වැඳිරි රුව ලෙස උවමින් දෙනුවන් රවටා මා පෙම් කළ ජනපද කල්‍යාණිට හිමියනි මට කළ නොහැක නිගා
සුරඟන රූ සිරු දුටිමි හැඳින්නෙමි සිත් ලෙස දෙනුවන් බඳුන් පුරා..// මා හඳුනන මගෙ හදගත් කලණිය මට නුදුරුයි සුරඟනට වඩා මා සිත සුවපත් කරලනු නොහැකිය සෝ ළතැවුල් දෙයි රැය ද දිවා..// නෙත දුටු සුරඟන රූසිරු කුමට ද හද දුටු ජනපද කලණ නිසා
මේ ගීතය පුදුමාකාර විදියට මගේ හද බැඳ ගත් ගීතයක්. සෝමතිලක ජයමහ ශූරීන් කියන්නේ වාක්ගේයකාරයෙක්. ඒ කියන්නේ පද රචනය, සංගීතය හා ගායනය එකම පුද්ගලයා අතින් නිමැවෙන එකයි. ලංකාවේ ගත්තොත් එහෙම අය බොහෝම අතලොස්සක් ඉන්නේ. ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්ත, අමරදේවයන්, ෂර්ලි වෛජයන්ත කියන්නේ ඒවගේ අයට උදාහරණ කීපයක්. ඒ විතරක් ද? Bob Marley, Michael Jackson, රවීන්ද්‍රනාත් තාගෝර් වගේ අයත් ලෝක ඉතිහාසයේ හම්බවෙනවා. ඉතින් ඒ අය අතරේ වැඩි කතා බහට ලක් නොවුණ සෝමතිලක ජයමහ ශූරීන් බැබලුණ ගීතයක් හැටියට මේක මම හඳුන්වන්න කැමතියි.
ඇත්තටම මුලින්ම මේ ගීතය ගුවන් විදුලියට ගායනා කරද්දි ගී පද රචකයා හැටියට සඳහන් වෙලා තිබුණේ එම්. රාජපක්ෂ නම. ඒ කාලයේ ගුවන් විදුලියේ යම් නීතියක් තිබුණා ගායකයෙකුට සරල ගී වැඩසටහනක් සඳහා තමා ම ගීත රචනා කිරීම තහනම් කියලා. ඉතින්, ඒ කාලේ සමහර ප්‍රවීණ ගී පද රචකයින් අපේ ජයමහ ශූරීන්ට ගීත ලියලා දෙන්න අකමැති වෙලා තියෙනවා. හේතුව ඒ වෙනකොට එතුමා ආධුනිකයෙක් වීම. මේ නිසාම ජයමහ ශූරීන් එම්. රාජපක්ෂ කියලා අන්වර්ථ නමකින් තමා ම ගීත ලියලා ගායනා කරනවා. හැබැයි පස්සේ කාලෙක මේක හෙළිවෙනවා.
කොහොම නමුත් මේ ගීතයේ නිධාන කතාව මේකයි. ජයමහ ශූරීන්ගේ මිත්‍රයෙක් එක්තරා තරුණියක් සමග පෙමින් ඉඳලා තියෙනවා. මේකට ගෙදරින් අකමැති වෙලා තියෙනවා. ඉතින් මේ සිද්ධිය ජයමහ ශූරීන්ට තම මිතුරාගෙන් දැනගන්න ලැබෙනවා. එතුමා අහනවා "ඔබේ පෙම්වතිය රූමත් කෙනෙක් ද?" කියලා. මිත්‍රයා කියනවා "නැහැ ඇය එතරම් ලස්සන කෙනෙක් නෙමෙයි. මට මොනතරම් ගෙදරින් වෙන විවාහ යෝජනා ගෙනාවත් මම ඒ එකකටවත් කැමති වෙන්නේ නෑ." ඉතින් බලන්න එච්චර ලස්සන රූමත් මනමාලියෝ යෝජනා කලත් ඒවාට කැමති නොවී අර එතරම් ලස්සන නැති තමන් මෙච්චර කල් ආදරේ කරපු පෙම්වතියට පිටුනොපා ඉන්න හැටි.
මේ කතාව ජයමහ ශූරීන්ගේ හිතට වැදෙනවා. එතුමාට මතක් වෙනවා නන්ද කුමාරයාගේ කතාව. නන්ද තෙරුන්ගේ වස්තුවේ නන්ද තෙරුන් පැවිදි වන්නේ ස්වේච්ඡාවෙන් නොව බුදුහිමියන් කළ ඉල්ලීමක් මතයි. මාලිගයේ දන් වැලඳීමෙන් පසු බුදු හිමියන් පාත්‍රය නන්ද කුමරාට දුන් නිසා ඔහුට එය රැගෙන ජේතවනාරාමය තෙක් පසුපසින් යන්නට සිදුවෙනවා. එසේ යන විට ඔහු සමඟ සරණ ගිවිස සිටි ජනපද කල්‍යාණිය, ස්නානය කරමින් සිට මුදා හරින ලද වරලස සමඟ මඟට පැමිණ, ඉක්මනට ආපසු එන ලෙස ඔහුට ප්‍රකාශ කරනවා. මේ අදහස කුමරුගේ හිතට තදින් කාවදිනවා. ඒ නිසා ඔහු පැවිදි වුනාට නිසි පරිදි බණ භාවනා කරන්නේ නැහැ. ශාසනය කෙරෙහි ඇල්ම අතහරිනවා. මේ බව දකින බුදුහිමියන් ඔහු ව තව්තිසා දිව්‍යලෝකය කරා ගෙන යනවා. යන අතරමඟදී අලුත දැවුණු හේනකුත් පිළිස්සී ගිය වැඳිරියකුත් මවලා පෙන්වනවා. දිව්‍යාංගනාවන් දුටු නන්ද කුමරාට දැනෙන්නේ ජනපද කල්‍යාණිය දැවුණු හේනේ වැඳිරිය හා සමාන බවෙනුයි. අවසානයේ දී නන්ද කුමරු කියන්නේ තමාගේ ජනපද කල්‍යාණිය හරියට අර නව දැලි හේනේ වැඳිරිය වගේ කියලා. සද්ධර්මරත්නාවලියෙත් මේ කතා පුවත සඳහන් වෙනවා.
නමුත් සෝමතිලක ජයමහ ශූරීන්ට මතක් වෙන්නේ නන්ද කුමාරයා එහෙම කිව්වාට තමන්ගේ මිත්‍රයා එහෙම කරන්නේ නැහැ නේද කියලා. ඉතින් එතුමා කල්පනා කරනවා නන්ද කුමාරයත් මේ විදියට කල්පනා කලොත් බුදු හාමුදුරුවන්ට කොහොම කියාවිද? මම කොච්චර ලස්සන දෙවඟනන් දැක්කත් මං කොහොමද කටක් ඇරලා කියන්නේ මගේ ජනපද කල්‍යාණිය හරියට අර වැඳිරිය වගේ කියලා. ඔන්න ඔය සිතුවිල්ල තමයි මේ ගීතය පුරාම තියෙන්නේ. එතුමා යොදාගෙන ඇති භාෂාවත් හරියට සද්ධර්මරත්නාවලියේ එන ශෛලියට සමාන අයුරින් යොදාගෙන තියෙන්නේ.
Comments