දමා යන්නට නොහැකි මිහිමත
- මාධව විජේසේකර
- May 4, 2017
- 2 min read



දමා යන්නට නොහැකි මිහිමත
එකම සම්පත ඔබම පමණයි...
මිදී යන්නට නොහැකි මේ ලොව
එකම බැඳුමද ඔබම පමණයි...
දමා යන්නට...//
බැඳී දුක සැප දෙකෙහි නිතියෙන් හදේ තනි නොතනියට වැඩ හුන් ළබැඳි සිත්මල් පරව යන විට පසක්‌වෙයි අනියත ලොවේ ජීවිතය යනු සිහිනයක්‌මය සසර මග දකිනා
දමා යන්නට...//
බැඳුණු සෙනෙහස නොවන නිම් හිම් ඇතද පණ නල සමග රැකෙමින් අපේ අත්වැල ලිහී ගිලිහෙන මොහොත එයි කවදාක හෝ යායුතුය ඒ නියත නික්‌මන සියලු බැමි බිඳිනා
ධර්මසිරි ගමගේ කියන්නේ අපේ රටේ හිටපු සොඳුරු මාධ්‍යවේදියෙක්, සිනමා අධ්‍යක්ෂවරයෙක්, කවියෙක්, ගේය පද රචකයෙක්. එතුමා හදිසියේ අපෙන් වෙන්ව යනවා 2004 සැප්තැම්බර් 19 වන දා. එතකොට මම 10 වසරේ හිටියේ. වයස අවුරුදු 15ක්. මට මතකයි එතුමාගේ අවසන් කටයුතු රූපවාහිනියේ පෙන්වනවා. එහිදී බොහෝ කලා ක්ෂේත්‍රයේ එතුමාගේ සහෘදයන් හැඬූ කඳුලින් හිටියා මතකයි. මට හොඳීන්ම මතකයි මහාචාර්ය සුනිල් ආරියරත්නයන් එතුමා පිළිබඳ ගුණ කථනය කරන කොට තමන්ගේ උපැස් යුවල ගලවා ලේන්සුවෙන් කඳුළු පිස දැමුවා. කවදාවත් ම සුනිල් ආරියරත්නයන් අඬනවා මම දැකලා තිබුණේ නැහැ. ඉතින් මේ මරණය හරිම කම්පිත මරණයක් වුණා.
එදා මේ අවස්ථාවට සහභාගී වනවා මේ ගීතයේ පද රචක කුලරත්න ආරියවංශයන්. පාසල් කාලයේ පටන් එතුමා හඳුනාගෙන සිටි ඉතා සමීප හිතවතාගේ වෙන්ව යාම එතුමාටත් කම්පනය ගෙන දෙනවා. මේ වගේ රටට වටිනා අයට අවසානයේදී ඉතින් හැමදෙයක්‌ම හැම කෙනෙක්‌ම දාලා යන්න වෙනවා. එදා මරණෙට ගියාම එතුමාට ඇතිවුණු සිතිවිල්ල තමයි ඒ. අපිට කිසිම දෙයක් ස්‌ථිර නැහැනේ. අපි නොසිතූ වෙලාවක හැම දෙයක්‌ම දාලා යන්න වෙනවා. කවදා හෝ දවසක තමනුත් මිය ගියොත්, තමන්ගේ බිරිඳ හුදෙකලා වෙනවා නේද? ඇය ගැනත් එතුමාට විශාල අනුකම්පාවක් ඇති වෙනවා. මෙන්න මේක නිමිත්ත කරගෙන තමයි මේ ගීතය ලියවෙන්නේ. ඉන්පසු එතුමා පද පෙළ සෝමතිලක ජයමහ ශූරීන්ට දීලා තනුවක් දාලා ගයන්න කියලා කියනවා. නෑ තනුව දාන්න රෝහණ වීරසිංහට දෙමු කියා ජයමහ ශූරීන් යෝජනා කරනවා. කුලරත්න - සෝමතිලක - රෝහණ සම්මාදමෙන් හැදුන මේ ගීතය කාටත් පොදු වූවක්.... ඕනෑම කෙනකුගේ හදවතට දැනෙන ගීයක්....
Comments