තිරය ඇරෙනවා තිරය වැහෙනවා
- මාධව විජේසේකර
- May 4, 2017
- 1 min read



තිරය ඇරෙනවා තිරය වැහෙනවා
ඔල්වරසන් හඩ පැතිරෙනවා
සඳලුතලෙන් බැස මානවිකාවන්
තාලෙට ඉඟසුඟ නටවනවා
කළගෙඩි නැටුමට කළගෙඩි සොළවති
නළ වතුරෙන් සැනහෙන දරුවෝ
ගොයම් නැටුමකට දෑකැති ලෙළවති
කුඹුරක් ඇස නොගැටුන දරුවෝ
තිරය ඇරෙනවා තිරය වැහෙනවා ...
දෙපා සැලෙන මුත් බෙර කවි තාලෙට
කරළිය හිමි නැති අපේ ළමයි
හේනට කුඹුරට ගත සවි දියකර
කරළිය අබියස බලා හිඳී
තිරය ඇරෙනවා තිරය වැහෙනවා ...
1983 වසරේ දී නිර්මාණය වූ මේ ගීතයට පසුබිම් වූ කතාව සිද්ධවෙන්නේ 1970 දශකයේ ඇහැළියගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ පැවැත්වූ දැවැන්ත ප්‍රසංගයක් නිසායි. එතකොට මේ ගීතය රචනා කල බණ්ඩාර ඇහැළියගොඩයන් එම පාසලේ ම සිසුවෙක්. "බතේ උපත" කියලා නර්තනයක් වැඩසටහන් පෙලගැස්මේ තියෙනවා. ඒ නර්තනය ඉදිරිපත් කරන්න ඇවිත් හිටියේ කොළඹ කාන්තා විද්‍යාලයේ සිසුවියන්.
මේක දකින ඇහැළියගොඩයන්ට කල්පනා වෙනවා "අපි උදේ හවස කුඹුරු වැඩ කරන අය. ඉස්කොලේ ඇරිලා ගිහින් කුඹුරේ වැඩට උඩවු වෙන දවස් තියෙනවා. ගොයම් කපලා, මඩවලා, හාල් කරන හැටි අපියි දන්නේ. සක්‍රීයව කුඹුරට සම්බන්ධ අපි වේදිකාව පල්ලේහාට වෙලා බලන් ඉන්නවා. කිසි දවසක මඩ ගොඩක් නොදැකපු, දැකත්තක් අත නොගාපු අය ඇවිදින් වේදිකාව උඩ නටනවා. අපි නෙවෙයි ද මෙතන ඉන්න ඕනේ?" කියලා.
මේ සිදුවීම මතක තිබුණ එතුමා මේ ගීතය රචනා කරනවා. හැබැයි ඒ වෙනකොට එතුමා සුනිල් එදිරිසිංහයන් හඳුනන්නේ නෑ. නමුත් එතුමාගේ මිත්‍ර ජයලත් මනෝරත්නයන් හරහා සුනිල් එදිරිසිංහයන් වෙත යවපු ගීත කිහිපයක් අතරින් මෙම ගීතය සහ ලෝකයක් නසන්නට කියන ගීත දෙක ගුවන් විදුලියේ සරල ගී වැඩහටහනක් සඳහා තෝරා ගෙන තිබුණා.
Yorumlar