top of page
Search

ළඳුනේ

  • මාධව විජේසේකර
  • May 3, 2017
  • 2 min read

හඬ : අමරසිරි පීරිස්

පද : අධිනීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්න

තනුව : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

ළඳුනේ // ඔබේ දෑස දැකගත්තෙමි සැඳෑ කලෙක ළඳුනේ.. දෙනෝදහක් අතගත්තද සැමියකු නැති ළඳුනේ.....

නෑයෙක් නෑකම නොකියන වීදි සරණ ළඳුනේ තෙල් මල් ගෙන දෝතපුරා මුණි කුටියට පියමං වන ඔබේ දෑස දැක ගත්තෙමි සඳෑ කලෙක ළඳුනේ

බුදුන් දැක නිවන් දකිමැයි දෙව්-රම යන පාර අහන ඔබද පටාචාරවකි ඔබද කිසා ගෝතමියකි...

පිරිමින්ගේ පාප කන්දට දෝස විඳින ළඳුනේ අඳුරේ පව් කරන දනා එළියේ රවන ළඳුනේ

ළැම පමනක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ළඳුනේ...

1984 වර්ෂ‍යේ දිනක, අධිනීතීඥ රන්බණ්ඩා සෙනෙවිරත්න මහතා මහනුවර උසාවියට නඩුවකට පෙනී සිටීම සඳහා පිටත් වෙනවා. නඩුව අවසානයේ ඔහු නැවත නිවෙස කරා පිටත් වීමට සූදානම් වූවත් ඔහුගේ මිතුරා පවසන්නේ හෙට තවත් නඩුවකට පෙනී සිටීමට ඇති හෙයින් එදින රාත්‍රිය ඔහුගේ නිවසේ නවාතැන් ගන්නා ලෙසයි.


හවස ඔවුන් දෙපළ දළදා මාළිගාව වැඳ පුදා ගන්නට මාළිගාවට යනවා. එහිදී ඔහු දකිනවා සුදු සාරියක් හැඳි, සුරූපී ස්ත්‍රියක් මල් වට්ටියකුත් දෝතින් රැගෙන මාළිගාවේ පිය ගැට පෙළ නඟිනවා. ඇය දෙස ඔහු බලා සිටිද්දී ඔහුගේ මිතුරා ඇය ගණිකාවක් බවත් සෑම දිනකම ඇය මෙසේ සිරිතක් ලෙස මාළිගාව වැඳ පුදා ගැනීමට පැමිණෙන බවත් පවසනවා.


මේ කෙනා නුවර ලොකු සමාජ බලයක් තිබුන පවුලක පොඩි දුවලු. අඩු වයසෙන් කෙනෙක් එක්ක සම්බන්ධයක් ගොඩ නැගිලා, මුළු ජීවිතේම එයා වෙනුවෙන් කැප කරලා, අන්තිමට ඒ මිනිහගෙන්ම උහුලාගෙන ඉන්න බැරි තරම් දේවල් වෙන නිසා අයෙත් පාරක් තමන්ගේ අම්ම තාත්ත ලගට යන්න වෙන තැනට පත් වෙනවා. ඒත් ගියාට වැඩක් නෑ, ගහල එලවනවා, අන්තිමට මුළු ජීවිතේම කැප කරපු කෙනත් අද නෑ, මෘගයෙක් වෙලා. එයා ලගට එද්දී හිටපු තමන්ගේ සමීපතමයොත් අද පිළිගන්නේ නෑ. ඒ වෙනුවට ඉන්නේ තුරුලේ කැටි වෙලා නිදන් ඉන්න කිරි කැටියෙක් විතරයි. කාට කියන්නද? කව්රු අහන්නද? සමාජයෙන් ආදරේ බලාපොරොත්තු වුණ එයාට අද කවුරුවත් නෑ. ඒ සමාජයෙන්ම ගහල බැනල, රැවටීමට ලක් වෙලා. තමන් මෙතෙක් විශ්වාස කරපු හැම දේම තමන් ඉස්සරහ බොරුවක්, නිකන්ම නිකම් වචනයක් වෙලා හැල්ලු වෙලා යද්දී, කාත් කව්රුත් ඇත්තටම නැති කෙනෙකුට තව මොනවද මේ සමාජයේදී රැක ගන්න කියල ඉතුරු වෙන්නේ? අන්තිමට වචන විතරයි, ඒ වචන ක්‍රියාත්මක වෙන්නේ නෑ. ක්‍රියාත්මක වෙන්නේ එකම සත්‍යයයි. ඒ සත්‍යය එයා තේරුම් ගන්නවා. රණ්බන්ඩා ශූරීන් සරසවියෙ ඉන්න කාලෙ එයාගෙ යාලුවො එක්ක ගණිකාවන් හමුවෙන්නට ගිහින් තියෙනවා. ඔන්න ඔය කතාවයි, රණ්බන්ඩා ශූරීන්ගේ සරසවි සමයේ අත් දැකීම්නුත් එක්ක තමයි මේ ගීතය ගොඩ නැගෙන්නේ.


මේ ගීතයට තනුව යොදපු ආකාරය ගැන ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් රූපවාහිනී වැඩසටහනක දී මෙහෙම කිව්වා මතකයි. රණ්බණ්ඩා ශූරීන් මේ පද මාලාව එතුමාට දෙනගමන් කිව්වාලු මෙහි කිසිම දෙයක් වෙනස් කරන්නට එපා කියලා. ඉතින් වචන දිහා බැලුවාම මේකේ ගීතමය ස්වභාවයක් තිබුණේ නැතිලු. හැබැයි අන්තිම වචන පෙළට එතුමාගේ හිත ගියාලු. "කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ළඳුනේ..." එතනින් එතුමාට අදහසක් පහළවුණාලු. ගීතයකට උචිත වන අයුරින්, ආරම්භයට ළඳුනේ යන වචනය යොදා ආමන්ත්‍රණයක ස්වරූපයක් එකතු කර එතුමා තනුව නිර්මාණය කරනවා.


මෙහි තවත් විශේෂත්වයක් වන්නේ, එතෙක් ගුවන්විදුලියේ වාදක මණ්ඩලයේ වයලින් වාදකයෙක්ව සිටි අමරසිරි පීරිස් මහතා පළමුවරට ගායකයෙක් වූ‍යේ ද මේ ගීතයෙනි. මේ ගීතය ගයන්නට ඉඳලා තියෙන්නේ වෙනත් ගායකයෙක්. පටිගත කරන දින‍යේ දී ඔහුට එන්නට ලැබිලා නැහැ. ඒ නිසා කේමදාසයන්, තම වයලින් වාදන ශිල්පියා අමතා, "අමරසිරි, ඔයා අද මේක කියන්න" කියා කියනවා. අහම්බයෙන් හෝ ගායනා කල එම ගීතයෙන් අමරසිරි පීරිස් නම් වූ ගායකයා බිහි වෙනවා.


අමරසිරි පීරිස් මහතා මේ ගීතය ගයන්න මාස්ටර්ගෙන් ලැබුණ ගුරුහරුකම් ගැනත් විටෙක මෙසේ පවසා තිබෙනවා. "මාස්ටර් මට කිව්වා සමහර තැන්වල දී කථන ස්වරූපයෙන් කියන්න කියලා. නෑයෙක් නෑකම නොකියන, වැරදිකාර ළඳුනේ යනා දී තැන්වල දී"

Comentarios


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page